වෛද්‍යවරු රට හැර යෑම

2578

(රෝගීන් අසරණ නොකර උත්තරයක් සොයමු)

අප රටේ කාලයක් තිස්සේ අර්බුදයට පත්වෙමින් පවතින ක්‍ෂේත්‍රයක් වන්නේ වෛද්‍ය ක්‍ෂේත්‍රයයි. බාල ඖෂධ, බාල එන්නත් ගෙන්වීම අතින් අප රටේ වෛද්‍ය ක්‍ෂේත්‍රය කප් ගසා තිබේ. එහි අලුත්ම කතන්දරය මේ දිනවල උසාවියේ දිග හැරෙමින් පවතී. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනකු මේවනවිට සිටිනුයේ රිමාන්ඩ් භාරයේය. මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් හත්දෙනෙකුගේ වත්කම් බැරකම් සොයා නීතිමය පියවර ගන්නා ලෙසට අල්ලස සහ නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සී.අයි.ඩී යට පැමිණිල්ලක් කර තිබේ. මෙම තත්ත්වය අප රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට හිතකර නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ යහපත පිණිස සෞඛ්‍යයේ සිදුවන නාස්තිය දූෂණය වැළැක්වීම සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් අප රටට අවශ්‍යය. එසේ නොවුණහොත් සිදුවනුයේ කීර්තිමත් ඉතිහාසයක් ඇති අප රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තවදුරටත් අපවිත්‍ර වීමයි.

අප රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පරිපාලන පැත්ත එසේ සෝදාපාළුවට ලක්වෙමින් තිබියදී වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මක පැත්තද මේ වන විට දැඩි හානියට පත්වෙමින් තිබේ. එලෙස වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මක පැත්ත නාය යමින් පවතින්නේ පවතින ආර්ථික අර්බුදයේම පැතිකඩක් ලෙසිනි.

රටේ ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී රජය පසුගිය කාලයේදී සිදු කළේ විවිධ බදු වර්ග ඔස්සේ ආදායම වැඩිකර ගැනීමට බදු ඉහළ දැමීමයි. වෘත්තිකයන් මත පැනවූ බදු බර වෛද්‍ය ක්‍ෂේත්‍රයටද දැඩි බලපෑම් එල්ල වෙද්දී වෛද්‍යවරු උත්සාහ කරනුයේ රට හැර යෑමටය. 2022 වර්ෂයේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 500 දෙනකුට අධික ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී. මෙලෙස අප රට හැරගිය වෛද්‍යවරුන් අතර නිර්වින්දන වෛද්‍යවරු, ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරු මෙන්ම විවිධ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥ වෛද්‍යවරු සිටිති. මෙම තත්ත්වය හමුවේ අප රටේ සිදුකෙරෙන සැත්කම්වලට පවා දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

වෛද්‍යවරුන් රට හැර යෑම නිසා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සැත්කම් කිරීම පවා අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇත. මෙම රෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා පසුගිය අගෝස්තු මාසයේදී රටහැර ගියේය. එම වෛද්‍යවරයා රටහැර යෑමත් සමඟ එම කටයුත්ත ආවරණය කිරීමට පත්කළ වැඩබලන නිර්වින්දන විශේඥ වෛද්‍යවරයාද මේ වනවිට රෝහලේ අධ්‍යක්‍ෂවරයා වෙත වට්ස්ඇප් පණිවුඩයක් තබමින් රට හැරගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ හම්බන්තොට රෝහලේ සැත්කම් සිදුකිරීම යළි අවුලකට පත්ව ඇත.

පසුගිය අවුරුදු දෙකක කාලය ඇතුළත හම්බන්තොට රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 20 ක් රටහැර ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී. විභාග සමත්ව තවත් වෛද්‍යවරු පහළොවක් රට යෑමේ සූදානමකින් සිටිති. මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී හම්බන්තොට රෝහලේ කටයුතු පවත්වාගෙන යෑම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. දිනකට රෝගීන් 1500 ක් පමණ ප්‍රතිකාර ලබා ගැනීමට හම්බන්තොට රෝහලට පැමිණෙති. අදාළ බලධාරීන් මේ පිළිබඳව නිසි අවධානය යොමුකළ යුතුය. එසේ නොවුණහොත් සිදුවනුයේ හම්බන්තොට අහිංසක අම්මලා තාත්තලා ඇතුළු සාමාන්‍ය ජනතාවට ඉදිරියේදී තව තවත් දුෂ්කරතාවලට පත්වීම පමණි. වෛද්‍ය හිඟය හම්බන්තොට රෝහලට පමණක් සීමාවී ඇතැයි සිතිය නොහැක. එනිසාම රටේ අනෙකුත් රෝහල්වල තත්ත්වය පිළිබඳව කල්තියා අධීක්‍ෂණය කර අවශ්‍ය පහසුකම් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.

අප රටේ කොතරම් අර්බුදකාරී තත්ත්වයක් පැවැතියද වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක වූ ක්‍ෂේත්‍රයන් ලෙස සෞඛ්‍ය ක්‍ෂේත්‍රය හඳුන්වා දිය හැකිය. නිදහස් වෛද්‍ය සේවය නිසා අප රටේ ජනතාවට අතමිට සරුවූයේ නැතත් වෛද්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව තිබිණි. මෙම තත්ත්වය තවදුරටත් රැකගැනීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුය. විශේෂයෙන් අප රටේ වෛද්‍යවරුන්ට තම වෘත්තිය නිදහසේ සහ තෘප්තිමත් අයුරින් කරගෙන යෑමට වටපිටාවක් සකස් කිරීම සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගේ මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමයි. විශේෂයෙන් මෑතකාලීනව වෛද්‍යවරු රට යෑමට හේතු වූ කරුණු අධ්‍යයනය කර ඊට නිසි විසඳුම් ලබාදීමට අදාළ අංශ පියවර ගත යුතුය.

අප රටට නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරයකු බිහිකර ගැනීම සඳහා විශාල බරපැණක් දැරීමට සිදුවනු ඇත. ඒ සඳහා වැයකරනුයේ ජනතාවගේ බදු මුදල්ය. ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නා වෛද්‍යවරුන් රටට සේවය කිරීම එක පැත්තකින් යුතුකමකි. සෑම ප්‍රශ්නයකටම උත්තරය රට හැර යෑම ලෙස නොසලකා පවතින ගැටලු අදාළ බලධාරීන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට වෛද්‍යවරු ක්‍රියාකළ යුතුව ඇත. ඊට ඇහුම්කන්දීම අදාළ අංශවල බලධාරීන්ගේ වගකීමකි. මේ දෙපාර්ශවයටම රටේ අහිංසක රෝගීන් ගැන සිතා ගැටලු අවම කරගෙන ඉදිරියට යෑම මේ මොහොතේ රට වෙනුවෙන් සිදුකළ හැකි ලොකුම සේවය බව අමතක නොකළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment