ඉන්ධන වංචාවක් ගැන සැකයක් බෝකුන්දර සමුපයේ පිරවුම් හලට සීල් තබයි

62

ඉන්ධන සැපයීමේදී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල පෙරේදා (30 දා) රාත්‍රි සිට තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය පවසයි.

ඒ අනුව ඉන්ධනහලෙහි සියලු පොම්ප මුද්‍රා තබා CP 92-1 පොම්පය සවි කර තිබූ ප්‍රධාන පුවරුවේ (චිප්) දත්ත කාඩ්පත විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව ද පැවසේ.

කොළඹ හොරණ 120 බස් මාර්ගයේ පිළියන්දල පොලිස් ස්ථානයට යාබදව පිහිටා ඇති බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන සැපයීමේදී අක්‍රමිකතාවක් සිදුවන බවට අවස්ථා රැසකදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණිලි ලැබී තිබුණි. ඒ අනුව නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු දොන් ප්‍රසන්න දිලිරුක් ජයසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් ඉකුත් 30 දා රාත්‍රී එම ඉන්ධන හලෙහි හදිසි වැටලීමක් සිදුකර තිබුණි.

එම අවස්ථාවේ විමර්ශන නිලධාරීන් ඉන්ධන හලට පැමිණ එහි සවිකර ඇති පොම්ප පරීක්ෂා කිරීමට සූදානම් වනවාත් සමග ඉන්ධනහලේ කළමනාකරු බව කියන පුද්ගලයා පැමිණ එහි ඉදිරිපිට ප්‍රධාන පුවරුවේ සවිකර තිබූ දත්ත කාඩ් පත ගලවාගෙන පලා යෑමට තැත් කර ඇති අතර එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඛනිජ තෙල් සංස්ථාවෙන් පැමිණි ආරක්ෂක නිලධාරීන් දත්ත කාඩ් පත සහ එම පුද්ගලයා ඔවුන් භාරයට ගෙන තිබේ.

ඒ අනුව පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන හලේ කිසියම් අක්‍රමිකතාවක් සිදු වන බවට ඇති වූ සැකය මත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු ප්‍රසන්න දිලිරුක් ජයසිංහ මහතා විසින් ඉන්ධන හලේ සියලු පොම්ප මුද්‍රා තබා එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාරයට ගෙන CP 92-1 පොම්පයේ ප්‍රධාන පුවරුවේ දත්ත කාඩ්පත (චිප්) විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියේ පැමිණිල්ලක් ද කර ඇති අතර පිළියන්දල පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

රත්මලාන – පින්සිරි ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment