ණයවර ලිපි 14 සිරවී නොරොච්චෝලේ කඳුළු සලයි විදුලිය සැපයීම බරපතල අනතුරක

365

අප්‍රේල් මස අවසානයත් සමග ඇතිවන වාරකන් කාලයට පෙරාතුව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට මෙටි්‍රක් ටොන් දහතුන්ලක්ෂ විසිදහසක් (1,320,000) ගල්අඟුරු ගෙන ඒමට නියමිතව තිබුණත් ඊට අදාළ ණයවර ලිපි 14 ක් විවෘත කර ගැනීමට නොහැකි වීම නිසා බලාගාරයෙන් විදුලිය ජනනය කිරීම ලබන ජුනි මාසයෙන් පසු දැඩි අභියෝගයකට ලක්ව ඇත.

විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පවසන පරිදි ඇණවුම් කර තිබූ මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ විසිදහසක් (120,000) අඩංගු නෞකා දෙකකට ඩොලර් ලබාදී එම නෞකා නිදහස් කරගෙන ඇත.

2021 සැප්තැම්බර් සිට 2022 අප්‍රේල් දක්වා ගල්අඟුරු ගෙන්වන කාලයේ (බටහිර වෙරළ නිරිත දිග මෝසම් වැසි රහිත කාලය) බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් මිලියන 2.28 ක ප්‍රමාණයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ගෙන්වීමට සැලසුම් කර තිබූ බව ගල්අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා පැවසීය. ලක්විජය ගල්අඟුරු බලාගාරය කළ දැනුම් දීමට අනුව අදාළ ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ද පිරිනමා තිබී ඇත.

ඒ අනුව 2022 අප්‍රේල් මස අවසානයට පෙර ගල්අඟුරු නෞකා සඳහා ණයවර ලිපි 38 ක් මෙම කාලසීමාවේදී (2021 සැප්තැම්බර් සිට 2022 අප්‍රේල්) මෙරටට ගෙන ඒමට නියමිතව තිබී ඇත. කෙසේ වෙතත් එම ඇණවුම් 38 න් 22කට ණයවර ලිපි නිකුත් කිරීමට ඉකුත් කාලයේදී පියවර ගෙන ඇත. නමුත් තවත් ණයවර ලිපි 16 ක් නිකුත් කර ගැනීමට ඩොලර් නොමැති වී යෑම නිසා වාරකන් කාලයට පෙර ගල්අඟුරු ගෙනඒමට හෝ ගොඩබා ගැනීමට නොහැකි වී ඇත. දැනට මෙරටට ගෙනා බව කියන ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 120,000 ක ප්‍රමාණය සෑහෙන්නේ දින 16කට පමණකැයි ලක්විජය බලාගාර ඉංජිනේරුවෝ පවසති. ගල්අඟුරු බලාගාරයේ මොගාවොට් 900 ක විදුලි උත්පාදන කටයුතු සඳහා දිනකට ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 7500 ක් අවශ්‍යය. අන්තර් මෝසම් වැසි පතිත වුවත් ජූලි – අගෝස්තු වනතුරු ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමට ළඟා කරගත නෙහැකි බවත්, එකම විකල්පය තාප බලාගාර (ඩීසල්, නැප්තා හා දැවිතෙල්) උපරිමයෙන් ක්‍රියාත්මක කරමින් රටට අවශ්‍ය විදුලිය පිරිමසා ගැනීම බවත් ඔවූහු කියා සිටිති. කෙසේ වෙතත් දැනට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව තිබෙන ගල්අඟුරු තොග ලබන ජුනි මස දක්වා ප්‍රමාණවත් බව ද ගල්අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment