නිතරම ගෙලේ ලොකු රන් මාලයක් තිබූ  පිලපිටියේ සිව්දරු පියා ඝාතනය කෙරේ

1192

කැලණිය, පිලපිටිය, කොල්ලුවත්ත ප්‍රදේශයේ පදිංචි සිටි ව්‍යාපාරිකයකු 10 වැනිදා අලුයම් කාලයේ දී ඝාතනය කර ඇතැයි කැලණිය පොලිසියෙන් වාර්තා වෙයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 69 හැවිරිදි විවාහක සිවුදරු පියකු වන කරුණාපාල ලියනගේ හෙවත් ‘චූටි අයියා’ නමැති පුද්ගලයෙකි. ඔහු නිරතුරුවම විශාල ප්‍රමාණයේ රන් මාලයක් කර පැළඳ සිට ඇති අතර ඝාතකයන් එම රන් දම්වැල සොරාගෙන ගොස් ඇති බව මෘතදේහය පරීක්ෂා කිරීමෙන් පසුව අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා තනිව වාසය කර ඇති අතර ඔහු පදිංචිව සිටි කුඩා කාමරය පිලපිටිය කොල්ලුවත්ත පාරේ ප්‍රධාන මාවතට මුහුණලා පිහිටා තිබූ එකක් යැයි පොලිසිය පැවසීය.

ඊට යාබද නිවෙසක බිරිඳ සහ දරුවන් පදිංචිව සිට ඇත. 10 වැනිදා අලුයම් කාලයේ සිදුව ඇති මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් එදින උදෑසන 9.00ට පමණ කැලණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් වල්පොල මහතා සහ අපරාධ පරීක්ෂණ අංශයේ පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා එක්ව පොලිසියේ ‘සොකෝ’ අංශ නිලධාරීන් කැඳවා පරීක්ෂණ සිදුකර ඇත.

ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ජනේලයෙන් මියගිය තැනැත්තා ජීවත්වූ කුඩා කාමරයට ඇතුළු විය හැකි බවත් දොර යතුර නිරන්තරයෙන් යතුරු පැදියේ ආරක්ෂිත පෙට්ටිය තුළ තිබෙන බවත් දැන සිටි අයකු හෝ කණ්ඩායමක් විසින් මෙම මිනිස් ඝාතනය සිදුකර ඇතැයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය පැවසීය.

ආරක්ෂක කැමරා දත්ත උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ශ්‍රියානි මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂා කර ඇත. මහර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මෘතදේහය මේ වන විට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇති බවත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය 11 වැනිදා සිදුකිරීමට නියමිතව ඇති බවත් පොලිසිය පැවසීය.

කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරී පිරිසක් මෙම මිනිස් ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරති.

කැලණිය මංගලා මදුරප්පෙරුම
 

advertistmentadvertistment
advertistmentadvertistment