කටුනායක වැසි නිසා ඉන්දියාවට ගිය ශ්‍රී ලංකන් යානා එදිනම රාත්‍රි යළි එයි

152

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට පෙරේදා (30 වැනිදා) සවස් කාලයේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ අතර ඒවා යළි 30 වැනිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම වැසි තත්ත්වය මත්තල ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ද එකසේ පැවති නිසා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලකවරුන් මෙම ගුවන් යානා දෙක ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණි.

ඒ අනුව පෙරේදා සවස 06.25 ට මාලදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 111 දරන ගුවන් යානය සහ ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපොළේ සිට පෙරේදා සවස 06.30 ට ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානය එසේ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණි.

පසුව එදින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති වැසි තත්ත්වය මදක් පහව ගොස් කාලගුණය යහපත් වූ පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානය රාත්‍රී 09.38 ටත්, යූ.එල්.- 111 දරන ගුවන් යානය රාත්‍රී 10.12 ටත් යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත සාර්ථක ලෙස ගොඩබස්සවා තිබුණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment