එවිට අප ඔවුනට මෙසේ කියමු…

1132

2015 අවුරුද්ද වන විට පිලිපීනය නමැති රට කුඩු මෝලකි. කුඩු ගැසීමට පුරුදු වූ ලක්ෂ සංඛ්‍යාත කුඩ්ඩෝ හොරකම් කිරීමට හැකි සෑම දෙයක්ම විකුණා ඉන් ලද මුදලින් කුඩු ගසා මෝල් කලන්තය සෑදී පාරවල් දිගේ පිස්සු කෙළින්නට පටන් ගත්හ. කුඩු යනු ගැලවෙන්නට හරිම අමාරු දෙයකි. කුඩු ගසා පුරුදු එකාට එය නැතිවම බැරිය. ලංකාවේ මේ දිනවල පවත්නා කුඩු සුද්දය නිසා කුඩු නැතිව සික් ගැසූ කුඩ්ඩෙක් ගඟකට පැන සිය දිවි නසා ගැනීමේ පුවතක් ඊයේ පත්තරවල පළ විය. ඒ කතාව පැත්තකින් තබා නැවතත් පිලිපීනය දෙසට හැරෙමු. 2016 ජූලි 30 දා පිලිපීනයට අලුත් ජනාධිපතිවරයෙක් පත් විය. කුඩුවල පරම සතුරකු වූ හෙතෙම රටේ පොලිසිය යොදාගෙන කුඩු ගහන්නන් සහ කුඩු විකුණන්නන් අත්අඩංගුවට ගැනීමට පටන් ගත්තේය. දකින දකින කුඩ්ඩා මරණ ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අනුව 7742 ක පිරිසක් මරණ ලදී. මේ පිරිස තුළ කුඩ්ඩන් මෙන්ම කුඩ්ඩන් නොවන අය ද සිටියහ. එය දිග කතාවකි. ඒ ගැන මතු දිනක වෙනම සාකච්ඡා කෙරේ. අපි අද අපේ අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ කුඩු වැනසීමේ මෙහෙයුමට අදාළ සිද්ධියක් ගැනය.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් කුඩු බිස්නස් කර මුදල් ලංකාවට එවන පුද්ගලයකුට අයත් විශාල හෝටලයක් දෙහිවල වැල්ලේ පිහිටා ඇත. මෙය අනවසර ඉදිකිරීමකි. මේ හෝටලය වැටලූ පොලිසිය එක්ස්කැවේටර් යන්ත්‍රයක් ගෙනවුත් එය කඩා දමන්නට පටන්ගත්හ. මෙවිට එතැනට පැමිණි පුද්ගලයෙක් තමන් පිටරට සේවය කරද්දී ලංකාවට එවූ රුපියල් කෝටි දහතුනහමාරක් මේ ගොඩනැඟිල්ලට ආයෝජනය කළ බව කියමින් නටන්නට පටන් ගත්තේය. පොලිසිය බිල්ඩිම කඩන්නේ කෝට් ඕඩරයක් අරගෙනදැයි ඔහු ප්‍රශ්න කළේය. ඒ අතර හිටපු හමුදාපතිවරයකුගේ ඥාතියකුට අයත් අනවසර හෝටලයක් ටිකක් ඈතින් තිබෙන බව ඔහු කීවේය. දෙහිවල වෙරළ ලයින් එකේ ඕනෑ තරම් අනවසර ඉදිකිරීම් තිබේ. බිල්ඩිම අනවසර උනාට මේ ඉඩම් බොහොමයකට ඔප්පු ඇත. මීට අමතරව මුහුදු ඔප්පු යනුවෙන්ද ඔප්පු වර්ගයක් තිබේ. එනමින් හඳුන්වනු ලබන්නේ මුහුදු කෑමට ලක්වූ ඉඩම්වල ඔප්පු ය. මෙහි ඔප්පුව ගොඩ ඇතත් ඉඩම ඇත්තේ මුහුදේ ය. ඉඩම උඩින් නැව් ද යයි. අප දන්නා පරිදි පෙරකී හමුදාපතිවරයාගේ ඥාතියාගේ හෝටලයෙහි කුඩු විකුණන්නේ නැත. ඩුබායි සිට එවූ කුඩු සල්ලිවලින් හැදූ හෝටලය පිලිපීනයේ තිබුණේ නම් ඒ රටේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ට් එය බෝම්බ දමා පුපුරවනවා ඇත. කෙසේවුවද එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් බිල්ඩිම කැඩීම පැයකට පමණ පසු නතර විය. ඒ දේශපාලන බලපෑමක් මත සිදුවුණු බවට කට කතාවක් ද පැතිර ගියේය. වෙරළ සංරක්ෂණ නිලධාරීන්ගේ ප්‍රකාශයන්ට අනුව, බිල්ඩිම කැඩීම නතර වූයේ ඒ සඳහා ගෙන්වන ලද එක්ස්කැවේටරය කොන්ක්‍රීට් කැඩීමට තරම් බලසම්පන්න නොවූ නිසාය. අවශ්‍යතාවය තිබුණේ නම් වඩා බලසම්පන්න එක්ස්කැවේටරයක් ගෙනවුත් බිල්ඩිම සම්පූර්ණයෙන්ම බිමට පහත් කළ හැකිය. ඒ අතර අප සතුව විකල්ප මතයක්ද තිබේ. ආණ්ඩුව කළ යුත්තේ එවැනි ගොඩනැඟිලි එක එල්ලේම විනාශ කිරීම නොව ඒවා පවරාගෙන විධිමත් ලෙස ගැලවීමය. එවිට මේ ගොඩනැඟිලිවල තිබෙන වටිනා කොටස් කුඩු පට්ටම් නොවන අතර ඒවා නීත්‍යානුකූල ලෙස විකිණීමෙන් ආදායමක් උපයා ගැනීමට හැකිය. එසේ නැතිනම් වෙරළ සංරක්ෂණ අංශ සමග කතා බහ කර නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගෙන රජයේ දේපළක් ලෙස එම හෝටලය පවත්වාගෙන යා හැකිය. එහෙත් ස්වකීය කුඩු නාශක මෙහෙයුමේ බලය පෙන්වීම සඳහා පොලිසිය යම් ප්‍රමාණයක සංදර්ශනයක් ඉදිරිපත් කළා විය හැකිය. එක්ස්කැවේටරය මගින් හෝටලය කැඩූ ආකාරයට ඉතිරි වන්නේ දූවිලි පමණි. මේ වූකලී කිසිවක් නාස්ති නොකළ යුතු තීරණාත්මක කාලයකි. හෝටලය ක්‍රමවත් ලෙස කැඩුවේ නම් එම ගොඩනැඟිලි ද්‍රව්‍ය යම් තරමක් හෝ ආපසු විකිණිය හැකිව තිබිණ. නාගරික සංවර්ධන සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන් කියන පරිදි ඕනෑම අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම නෛතික අවශ්‍යතාවකි. විශේෂයෙන්ම වෙරළෙහි තිබෙන ජනාවාස නොවන බිස්නස් තැන් කඩා දැමීමේ අයිතිය මේ ආයතනවලට තිබේ. මෙයට අපද එකඟය. සංචාරක ව්‍යාපාරය නාමයෙන් රටේ ඉඩම් කොල්ලකෑම හෝ පරිසරය කෙළසීම කිසිසේත්ම සමාව දිය නොහැකි කාරණයකි. මේ වැරැද්ද දෙවැනි වන්නේ කුඩු ව්‍යාපාරයටම පමණක් බව අපගේ හැඟීම වේ.

බම්බලපිටියේ සිට කළුතර දක්වා වූ වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් පිරී ඉතිරී ගොස් ඇත. මේවා වැඩි හරියක් පිහිටා තිබෙන්නේ Railway Reservation Land හෙවත් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බිමෙහිය. රේල් පාර දෙපැත්තේ අඩි 15 බැගින් පමණ වූ තීරයක් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්ය. මේ තීරුවල ගෙවල් හැදුවොත් විශාල අනර්ථයන්ට මුහුණ පෑමට ඒවායේ පදිංචිකරුවන්ට සිදුවේ. හදිසියේවත් දුම්රියක් පෙරළුණොත්, එය පෙරළෙන්නේ ගෙවල් උඩටය. එවිට ද ඒවායේ නිවැසියෝ ආණ්ඩුවට හෙණ ඉල්ලමින් වන්දි ඉල්ලීමට පටන් ගනිති. ලංකාවට මේ කෙළිය සිදුවී ඇත්තේ තද නීති රීති නැති රටක් නිසාය. තිබෙන නීති රීති වුව හරියට ක්‍රියාත්මක වන්නේ නැත. අපට දැනට සතුටු වීමට හැක්කේ මේ දවස්වල ක්‍රියාත්මක වන කුඩු විරෝධී යුක්තිය මෙහෙයුම ගැන පමණි. කුඩුවලට එරෙහි නීතිය එම මෙහෙයුම මගින් හරියටම ක්‍රියාත්මක වේ. එහෙත් කුඩ්ඩන් එල්ලා නොමැරීම බලවත් අසාධාරණයකි. එක කුඩ්ඩෙක් එල්ලුවොත් AMNESTY INTERNATIONAL මානව හිමිකම් ආයතනය මෙහි පැමිණ එයට විරුද්ධව පිනුම් ගසනවා ඇත. එවිට බම්බු ගහගන්නැයි අපි ඔවුන්ට කියමු.

advertistmentadvertistment
advertistmentadvertistment