ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන කලාපීය යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් පවතින ලකුණු පෙනෙන්නට තිබේ. හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිවිල් ජනතාව ඉලක්ක කර එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය මෙම ඛේදවාචකයට ආසන්නතම හේතුව වුව ද ඊශ්‍රායලය හා පලස්තීනය අතර විරසකය වසර දහස් ගණනක් ඈතට විහිදෙයි. දැන් මෙම මහා නස්පැත්තිය එක එල්ලේම ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ හිස මතට කඩා වැටී ඇත. මේ වන විටත් පල්ස්තීනුවන් 5800කට වඩා මියගොස් ඇත. මිලියනයකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමිව ඇත. හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලය තුළ ද පුද්ගලයන් 1400ක් පමණ මිය ගොස් ඇත. ලෝකය දෙපසට බෙදී මෙම අර්බුදය ගැන වාද කරමින් ඇත. යුද්ධය කවුරුන් කෙසේ ආරම්භ කළ ද පලස්තීන සිවිල් වැසියන් ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ඇති බව පිළිගැනීමට සිදුවෙයි.

● ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට බුද්ධි මෙහෙයුමක්

ඊශ්‍රායලය තම හමුදාව ගාසා තීරයට ඇතුළු කිරීමේ සූදානමින් බලමුළු ගන්වා ඇත. හමාස් ත්‍රස්තවාදය මුලිනුපුටා දමනතුරු තම සටන අත් නොහරින බව ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. උතුරු ගාසා ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස පලස්තීන වැසියන්ට දින නියම කළත් තවමත් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ඇතුළු වී නැත. එසේ වුවත් කලාපයට විශාල වශයෙන් රොකට් ප්‍රහාර එල්ල වෙයි. ඔක්තෝබර් 7 වෙනිදා පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇති ඊශ්‍රායල වැසියන් 220 දෙනා වහාම නිදහස් කළ යුතු යැයි ඊශ්‍රායලය පවසයි. ඔවුන් නිදහස් කර ගැනීම පිළිබඳව රජය යම් දෙගිඩියාවකින් පසුවන බව පෙනෙන්නට තිබේ. භූමියේ සිදුකරන ක්‍රියාන්විතයක් තුළින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම ඉතාම සැලසුම් සහගතව කළ යුත්තකි.

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් භාවිත කරමින් යමක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ යම් සේද ඊශ්‍රායලය ද ඒ ඔස්සේම තම උපාය මාර්ග සැලසුම් කර ඇති බව පෙනේ. භූමියේ මෙහෙයුම ප්‍රමාද කරමින් ගාසා තීරය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර ඇත. හමාස් බලපෑම් නොතකා සාමාන්‍ය වැසියන් දකුණු ගාසා තීරයෙන් ඉවත්වෙමින් ඇත. විනාශය පිළිබඳව තමන් වෙත ඇඟිල්ල දිගු කරන පාර්ශ්වයන්ට ඊශ්‍රායලය සිහිපත් කරන්නේ තම පුරවැසියන් මුදා ගැනීමේ අභිප්‍රායයි.

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ හමුදා මෙහෙයුම් හා රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් පිළිබඳව අප අවධානයෙන් සිටියදී ඊශ්‍රායලය ඒ සඳහා වූ බුද්ධි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සඳහා තොරතුරු ලබා දෙන්නන්ට විශාල වශයෙන් මුදල් ත්‍යාග ලබා දීමට නියමිතය. ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවත් ඔවුන්ව විශේෂයෙන් ආරක්ෂා කරන බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.

● ෂින් බෙට් ඔත්තු සේවය

ඊශ්‍රායල ඔත්තුකරුවකු වූ හමාස් ඔටුන්න හිමි කුමරා

ඊශ්‍රායලය බුද්ධි මෙහෙයුම් හා ඔත්තුකරුවන් පිළිබඳව විශේෂ නමක් දිනා සිටින රටකි. එරට සුප්‍රකට ඔත්තුසේවය වන්නේ මොසාඩ් සංවිධානයයි. දැවැන්ත අරාබි සතුරන් රාශියක් මැද බිහි වූ දෙවන ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්ම උදෙසා බුද්ධිමය මැදිහත්වීම කරන්නේ මොසාඩ්වරු බවට රහසක් නැත. එලී කොහෙන් නම් වූ මොසාඩ් ඔත්තුකරුවාට සතුරු සිරියානු රාජ්‍යයට ගොස් එහි ආරක්ෂක උපදේශකයා බවට පත්වීමට හැකි විය. දෙවන ලෝක යුද සමයේ යුදෙව් සමූල ඝාතනය නොහොත් Holocaust ක්‍රියාන්විතයේ සැලසුම්කරු වූ ඇඩොල්ෆ් අයික්මාන් ආජන්ටිනාවේ සැඟවී සිටියදී පැහැරගෙන ඊශ්‍රායලයට රැගෙන ඒමට මොසාඩ්වරුන්ට හැකිවිය. මෙවැනි ත්‍රාසජනක මෙහෙයුම් රාශියක් මොසාඩ් නාමය ඉදිරියෙන් ලියවී ඇත.

කෙසේ නමුත් මොසාඩ් සංවිධානයට අමතරව තවත් ප්‍රධාන පෙළේ බුද්ධි අංශ කිහිපයක් ඊශ්‍රායලය විසින් පවත්වා ගෙන යනු ලබන බව කිය යුතුය. එයින් වඩාත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන්නේ ඊශ්‍රායල ආරක්ෂක ආයතනය හෙවත් ‘ෂින් බෙට් (Shin bet)’ ය. වර්තමානය වන විට එය මොසාඩ් සංවිධානයටත් වඩා අසීරු ඉලක්ක හඹාගෙන යන බුද්ධි ඒකකයක් බවට පරිවර්තනය වී ඇත. ත්‍රස්තවාදී ජාලයන් හඳුනා ගැනීම, බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ මෙහෙයුම් සඳහා ඔත්තු සැපයීම, ප්‍රති-ඔත්තුකරුවන් හඳුනාගැනීම, රාජ්‍ය නායකයන්ගේ පුද්ගලික ආරක්ෂාව, ඊශ්‍රායල ගුවන් සේවා හා විදේශ තානාපති කාර්යාල ආරක්ෂා කිරීම වැනි භාරදූර වගකීම් කිහිපයක්ම ෂින් බෙට් වෙත පැවරී ඇත. ඊට අමතරව ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමද ඔවුන්ගේ විශේෂිත රාජකාරියකි.

ප්‍රශ්න කිරීමට ලක්කරන සැකකරුවන්ට දරුණු වද හිංසා පැමිණවීම පිළිබඳව ෂින් බෙට් ඒකකයට චෝදනා එල්ල වී ඇත. හමාස් පමණක් නොව ඉස්ලාමීය ජිහාඩ්, අල් අක්සා, ෆටා වැනි පලස්තීන සන්නද්ධ සංවිධානවල නායකයන් ගුවන් ප්‍රහාර ඔස්සේ ඝාතනය කිරීමට ඊශ්‍රායල ගුවන් හමුදාවට ඉලක්ක ලබාදෙන්නේ ෂින් බෙට් ඔත්තුකරුවන් බව පැවසේ.

● විශේෂිත ඔත්තුකරුවා

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර යුද්ධය අලුත් වටයකින් ආරම්භ වූ මොහොතේ ෂින් බෙට් හි සේවය කළ අති විශේෂිත ඔත්තුකරුවෙකු පිළිබඳව විදේශ මාධ්‍යයන්හි අවධානය යොමු වී ඇත. මේ දිනවල ඔහුට මාධ්‍යකරුවන්ගෙන් බේරීමක් නැත. ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනාවරණය නොවන ස්ථානයක සිටයි.

මෙම ඔත්තුකරුවා නමින් මොසාබ් හසන් යූසෙෆ් ය. ෂින් බෙට් වෙනුවෙන් ක්‍රීඩා කළ වටිනාම ක්‍රීඩකයා ඔහු බව පැවසේ. 1997 සිට 2007 දක්වා පුරා වසර දහයක් තිස්සේ මොසාබ් ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තුකරුවෙකු ලෙස සේවය කළේය. ඔහු ලබාදුන් තොරතුරු නිසා හමාස් සංවිධානයේ නිර්මාතෘවරයා වූ ෂෙයික් හසන් යූසෙෆ් ද අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායලයට හැකි විය. එසේ අත්අඩංගුවට පත් ෂෙයික් හසන් යූසෙෆ් යනු මොසාබ්ගේ පියාය. මොසාබ් යනු ෂෙයික්ගේ වැඩිමහල් පුත්‍රයා ය. හමාස් සංවිධානයේ ‘ඔටුන්න හිමි කුමරා’ ඊශ්‍රායලයේ විශ්වාසවන්තම ඔත්තුකරුවෙකු වීම පුදුම සහගතය. පසුගියදා තමන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම ඔහු පවසා සිටියේ තම පියාට හා ඔහුගේ හමුදාවට යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට හා ලෝක ව්‍යාප්ත ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ බවයි.

බටහිර ඉවුරේ රමල්ලා නගරයේ උපන් මොසාබ් ද සම වයසේ අනෙකුත් පලස්තීන ළමයින් මෙන් ඊශ්‍රායල් විරෝධියෙකු විය. ඔහු තම සටන් ආරම්භ කළේ අලුතින් ඉදිවන ඊශ්‍රායල් ජනාවාසවලට ගල් ගැසීමෙනි. පසුව ඔහුගේ පියා විසින් හමාස් සංවිධානය ආරම්භ කිරීමෙන් පසු මොසාබ් ද එහි කැපී පෙනෙන සාමාජිකයෙකු බවට පත් විය. හමාස් සාමාජිකයන්ට අනුව මොසාබ් යනු අනාගත හමාස් රාජ්‍යයක ඔටුන්න හිමි කුමරා විය. ඔහුගේ පියා මෙන්ම මොසාබ්ට ද විටින් විට ඊශ්‍රායල පොලිසියේ අත්අඩංගුවට පත්වීමට සිදුවිය.

යුදෙව්වන් පමණක් නොව ඊශ්‍රායල රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ පලස්තීනුවන් ද හමාස්වරුන්ගේ ගොදුරු බවට පත් විය. පසු කලෙක මොසාබ් විසින් හෙළි කරන ලද්දේ තම පියාගේ සහචරයන් එවැනි පලස්තීනුවන්ගේ නියපොතු අතරින් අල්පෙනෙති යැවූ බවයි. තවත් දඬුවමක් වූයේ ගිනි ගන්නා ප්ලාස්ටික්වලින් සිරුරු පිළිස්සීමයි. තම සහෝදර පලස්තීනුවන්ට පමුණුවන මෙවැනි අමානුෂික වද බන්ධන දුටු මොසාබ්ගේ හිත ටිකෙන් ටික වෙනස් විය. තම පියාගේ සහචරයන් කවදා හෝ පලස්තීනයේ බලය අල්ලා ගතහොත් පලස්තීනුවන්ට අත්වන ඉරණම ගැන ඔහු චකිතයෙන් පසුවිය.

හමාස් සංවිධානය ගැන කලකිරීමෙන් සිටි එහි නායකයාගේ පුත්‍රයා පිළිබඳව ෂින් බෙට් නිලධාරීන්ට ඒ වන විටත් ඉව වැටී තිබුණි. ඔවුහු ඊළඟ සැලසුම ක්‍රියාත්මක කළහ. 1996 වන විට මොසාබ් සිටියේ ඊශ්‍රායල බන්ධනාගාරයක ය. ෂින් බෙට් නිලධාරියෙක් බන්ධනාගාරයට ගොස් ඔහු සමඟ සාකච්ඡා කළේය. අවසානයේ හමාස් ඔටුන්න හිමි කුමාරයා ඊශ්‍රායලයේ ඔත්තුකරුවකු වීමට එකඟ කරවා ගැනීමට ෂින් බෙට් කණ්ඩායමට හැකි විය.

1997 සිරෙන් නිදහස් වීමත් සමඟම, යූසෙෆ් ෂින් බෙට්හි ඔත්තුකරුවකු බවට පත්විය. කණ්ඩායම තුළ ඔහුව හැඳින්වූයේ ‘කුමාරයා’ යන අන්වර්ථ නාමයෙනි. මොසාබ් විසින් ලබාදුන් තොරතුරු නිසා හමාස් සටන්කරුවන් රාශියක් දඩයම් කිරීමට ඊශ්‍රායල හමුදාවට හැකිවිය. එසේම ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට හැකි විය. ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයෙකු හා ජනාධිපතිවරයෙකු වූ ශිමොන් පෙරෙස් ඝාතන තැතකින් බේරී ඇත්තේ මොසාබ් විසින් එකී කුමන්ත්‍රණය පිළිබඳව ෂින් බෙට් වෙත කලින්ම හෙළිකළ නිසාය. මෙම බුද්ධි තොරතුරු නිසා ජීවිත බේරා ගත් බොහෝ ඊශ්‍රායල දේශපාලනඥයන්, හමුදා නායකයන් පවා මොසාබ් ගැන දැන සිටියේ නැත. නමුත් ඔහු කාලයක් තිස්සේ තමන්ගේ සේවය සූක්ෂමව කර ගෙන ගියේය.

● තීරණාත්මක මොහොතක සැඟව යයි

ඊශ්‍රායල ඔත්තුකරුවකු වූ හමාස් ඔටුන්න හිමි කුමරා
මොසාබ් හසන් යූසෙෆ් අවස්ථා දෙකකදී විවිධ ස්වරූපයෙන්

තමා කිසිවිටෙක මුදලට ඔත්තු ලබා නොදුන් බවත් තම අරමුණ වූයේ ජීවිත බේරා ගැනීම පමණක් බවත් මොසාබ් පවසයි. තමන්ගේ බුද්ධි තොරතුරුවලට ඉලක්ක වූ හමාස්වරුන් අත්අඩංගුවට ගැනීමක් මිස මරා නොදැමිය යුතු බවට වූ කොන්දේසියක් මත තමන් ඊශ්‍රායලයට ඔත්තු සැපයූ බව ඔහු වැඩිදුරටත් පවසයි. මොසාබ් හා තම කණ්ඩායම අතර ඇති සම්බන්ධතාව කිසිවෙකුට හෙළි නොවන සේ කටයුතු කිරීමට ෂින් බෙට් නිලධාරීන් සූක්ෂම විය. ඔහුව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශයන්ට දැනුම් දී තිබුණි. නමුත් පුරා දශකයක් තිස්සේ ඊශ්‍රායල ඔත්තුකරුවෙකු ලෙස සේවය කළ මෙම පලස්තීනුවා පිළිබඳව හමාස්වරුන්ට හෝ වෙනත් අරාබි බුද්ධි අංශයන්ට අනාවරණය වීම නොවැළැක්විය හැකිව තිබුණි. තීරණාත්මක අවසානය ළඟා වීමට ඔන්න මෙන්න තිබියදී ඊශ්‍රායල හමුදාව මොසාබ්ව අත්අඩංගුවට ගත් අතර අවසන් මොහොතේ ඔහුට පැන යෑමට ඉඩ සලසන ලදී. ඉන් පසුව ඔහු සැඟවී ගියේය. මොසාබ් යනු හමාස්හි අනාගත නායකයා නොව අංක එකේ පාවාදෙන්නෙකු බව හමාස්ලා දැනගත්තේ ඔහු පසු කාලයක ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ ලබන්නෙකු ලෙස නැවත කරළියට ඒමත් සමඟය.

2007 දී බටහිර ඉවුරෙන් එක්සත් ජනපදය බලා පිටත්ව ගිය මොසාබ් යම් අනාවරණය නොවන ස්ථානයක ජීවත් වෙයි. පසුව තමන් ක්‍රිස්තියානි භක්තිකයෙකු වූ බව ඔහු පවසයි. එසේ වුවත් ක්‍රිස්තියානි ආගම ඇතුළු දැනට පවතින සියලුම ආගම්වල සීමාකිරීම් ඔහුගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

“ආගම මිනිසුන්ගේ නිදහස හොරකම් කරනවා, නිර්මාණශීලිත්වය විනාශ කරනවා, අපව වහලුන් බවට පත්කරනවා, අප එකිනෙකා මරාගන්නා තැනට ඇද දමනවා.”

ඔහුට අනුව ජේසුස් වහන්සේට අවශ්‍යව තිබුණේ මිනිසුන් ආගම්වලින් ගලවා ගෙන නිදහස් කිරීමයි. තම අරමුණ මැදපෙරදිගට සාමය ගෙන ඒම බවත් කවදා හෝ සිය මව්බිමට නැවත පැමිණීමට බලාපොරොත්තු වන බවත් මොසාබ් පසුගිය දා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණි.

● මනෝවිද්‍යාත්මක යුද්ධයක්

කෙසේ නමුත් මොසාබ්ගේ කතාව සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් බව පලස්තීන පාර්ශ්වයේ මතයයි. මොසාබ්ගේ පියා හා සොහොයුරා පවසන්නේ ඔහු හා පවුලේ අය අතර සම්බන්ධතාව බිඳ වැටුණේ ඔත්තුකරුවාගේ භූමිකාව ආරම්භ වීමට වසරකට පෙර බවයි. හමාස් සංවිධානය පවසන්නේ මොසාබ්ගේ කතාව පලස්තීන ජනතාවට එරෙහිව ගෙන යන මනෝවිද්‍යාත්මක යුද්ධයක් බවත් එයට ප්‍රතිචාරයක් ලැබිය යුතු නැති බවත්ය. මොසාබ් විසින් ලියා පළකරන ලද “The Son of Hamas” නම් වූ ස්වයං චරිතාපදානය මුදල් ඉපැයීමේ අරමුණින් ඇමෙරිකානු පොත් ප්‍රකාශකයන් විසින් කරන ලද උප්පරවැට්ටියක් බවට ද මතයක් ඇත. එක්සත් ජනපදයේ සරණාගත භාවය ලබා ගැනීමේ උපායක් වශයෙන් ඔහු තමන් ක්‍රිස්තියානුවකු බව ප්‍රකාශ කළ බවට ඔහුගේ විරුද්ධවාදීහු තර්ක කරති.

අවසානයට පෙර පැමිණි ගැලවුම්කරුවා

මොසාබ් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන රැකවරණ අයැදුම්පත ඇමෙරිකානු රජය කිහිප වරක්ම ප්‍රතික්ෂේප කළේ ඔහු කලක් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු ලෙස සිටීම නිසාය. මොසාබ්ගේ ස්වයං චරිතාපදානයේ ඔහු මුලින් හමාස් සංවිධානය වෙනුවෙන් කටයුතු කළ ආකාරය දැක්වෙයි. ඒ අනුව “එක්සත් ජනපදය විසින් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීම” ලෙස ඔහුගේ ක්‍රියාකාරකම් අර්ථකථනය කර ඇත. මේ අනුව මොසාබ්ව නැවත පලස්තීනයට පිටුවහල් කිරීමට පවා නියම විය. එසේ පිටුවහල් කළ හොත් ඔහුට ඛේදජනක මරණයක් අත්පත් විය හැකි බව නීතිඥයන් සංක්‍රමණික අධිකරණයට අනතුරු ඇඟවීය. නමුත් ඒ කිසිදු ඉල්ලීමක් නොතකා මොසාබ්ව පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අවසාන අදියරටම ළඟා වී තිබුණි.

සාමාන්‍යයෙන් ෂින් බෙට් සංවිධානයේ ක්‍රියාන්විත නිලධාරීන් කිසිවෙක් තමන් එවැනි රාජකාරියක නිරත වූ බව හෙළි නොකරයි. එසේ හෙළි වුවහොත් ඔවුන්ගේ ජීවිතයට පෞද්ගලිකව මෙන්ම නීතිමය වශයෙන් ද දැඩි අවදානමක් ඇති වෙයි. කෙසේ නමුත් මේ අවාසනාවන්ත ඔත්තුකරුවාගේ ඉරණම කුමක්දැයි පැහැදිලිව ප්‍රකාශ වී තිබුණු මොහොතක ඔහුගේ ගැලවුම්කරුවා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

2010 ජූනි 24 දින කැලිෆෝනියා ජනපදයේ සැන් දියාගෝ ජනපදයේ සංක්‍රමණික උසාවිය ඉදිරියේ යම් විශේෂිත පුද්ගලයෙක් පෙනී සිටියේය. බෙන් ඉෂාක් නම් වූ ෂින් බෙට් නිලධාරියා මොසාබ් වෙනුවෙන් සාක්ෂි දීමට තම අනන්‍යතාව ලොවට හෙළි කළේය. “Loai” යන අනවර්ථ නාමයෙන් ෂින් බෙට් සංවිධානය තුළ කටයුතු කළේ තමන් බවත් මොසාබ් යනු ‘සැබෑ මිතුරෙකු’ බවත් ඔහු පැවසීය. ‘කුමාරයා’ පිටුපස සිට මෙහෙයවූයේ තමන් බව ඔහු අධිකරණය ඉදිරියේ හෙළි කළේය. මොසාබ් යනු ‘ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා තම ජීවිතය පරදුවට තැබූවෙකු’ ලෙස ඉෂාක් විසින් හඳුන්වන ලදි. ඉන් පසුව මොසාබ්ට එක්සත් ජනපදයේ රැඳී සිටීමට අවසර දෙන බව අධිකරණය තීන්දු කළේය. අද ඔහු ආගමික අන්තවාදයට හා ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදයට එරෙහි ආරාධිත කථිකයෙකි. ඔහු පිළිබඳව ‘The Green Prince” නමින් සම්මානලාභී වාර්තා චිත්‍රපටයක් පවා නිර්මාණය වී ඇත.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment