පොහොට්ටුව ජනාධිපතිට කළ අනතුරු ඇඟවීම පුස් වෙඩිල්ලක් ?

693

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) නායකත්වය නොසලකා දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබේ. පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ සුව ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කිරීම ඇතුළුව කැබිනට් අමාත්‍යධූර ‘හුවමාරුව’ පිළිබඳව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පලකළ විරෝධය හුදු දේශපාලන ප්‍රකාශයක් ලෙස පමණක් සැලකිය නොහැක.

ඔක්තෝම්බර් 23 වැනි දින ක්‍රියාත්මක කළ අමාත්‍ය ධුර ‘හුවමාරුව’ පිළිබඳව ඊට දින දෙකකට පසුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ අවධාරණය කළේ ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ සහ ශ්‍රීලනිපයේ රංජිත් සියඹලාපිටියද පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට මෙවර පත්වූ මහජන නියෝජිතයන් බව අමතක කර එම පක්ෂයට කටයුතු කළ නොහැක. එම දෙදෙනා වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ සාමාජිකයන් බව අමුතුවෙන් කිව යුතු නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂවල මෙන්ම පොහොට්ටු පක්ෂයේ අනන්‍යතාවයද දියවී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයා ශ්‍රීලනිපය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම පොහොට්ටු පක්ෂයටද සලකන බව පෙනේ. නව පරිසර අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයාගේ අමාත්‍යධූර ‘හුවමාරුව’ පිළිගෙන ඇත. එය පොහොට්ටු පක්ෂයට රඹුක්වැල්ල අමාත්‍යවරයා කර ඇති සංඥාවකි. ඔහුගේ දේශපාලන තීන්දුව තේරුම් ගැනීමට අපහසු නැත. මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද දැනට රඹුක්වැල්ල ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ ය.

ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස නොවැම්බර් 13 දින අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. එම අයවැය සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 13 දිනය. පොහොට්ටු පක්ෂයට අවශ්‍යනම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අනතුරු ඇඟවීම ක්‍රියාත්මක කළ හැකිය. එවැනි අනතුරු ඇඟවීමක් පක්ෂයේ ඉහළම නායකත්වයේ ආශිර්වාදයක් නොමැතිව කිසිසේත් කරන්නේ නැත. කෙසේ වෙතත් පොහොට්ටු පක්ෂය යම්කිසි දෙගිඩියාවකින් කටයුතු කරන බව පෙනේ.

තමුන්ගේ ශක්තිය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබේ නම් එම පක්ෂයට අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කළ හැකිය. නැතහොත් ඡන්දය දීමෙන් වැළකී සිටිය හැක. හදසි තීන්දුවක් ගැනීමට අවශ්‍ය නැත. පොහොට්ටුවේ තීන්දු තීරණ ගනු ලබන කණ්ඩායම නිල වශයෙන් රැස්වී අයවැය ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙර පක්ෂයේ තීරණය ප්‍රකාශ කළ හැක. එවැනි තීරණයක් ගතහොත් එය වික්‍රමසිංහ . රාජපක්ෂ ආණ්ඩුවේ අවසානය බවද අවධාරණය කළ යුතුය. අයවැය පරාජය වුවහොත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොහැක. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට මහා මැතිවරණයකට මුහුණ දීමට සිදුවෙනු ඇත. එබැවින් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයවැය පරාජය කිරීම දැනට පාර්ලිමේන්තුවේ සිටින විශාලතම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද බරපතළ අවදානමකට ලක්වීමට සිදුවෙනු ඇත. බංකොළොත් ශ්‍රී ලංකාවේ භූමියේ තත්ත්වය මේ අවස්ථාවේ කිසිදු පක්ෂයකට වාසිදායක නැත.

උදාවිය හැකි සියලුම තත්ත්වයන් විමසා බැලීමේදී එවැනි බරපතළ තීරණයක් ගැනීමට පොහොට්ටු පක්ෂයට මෙම අවස්ථාවේ ශක්තියක් තිබේද? වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙහෙළිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පෙර පොහොට්ටු පක්ෂයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම විමසා බැලුව බවට සැකයක් නැත. ජනාධිපතිවරයාගේ කියවීම තේරුම් ගැනීමට අපහසු නැත. අමාත්‍යධූර ‘හුවමාරුව’ හේතුවෙන් මේ අවස්ථාවේ පොහොට්ටුව ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු නොකරන බවට එජාප නායකත්වයට විශ්වාසය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පලකළ අදහස් දැක්වීම මෙසේය. සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතුය. ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකිය. සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා ගැනීමට ජනාධිපතිවරයා දැනගත යුතුය. එමෙන්ම යහපාලන ආණ්ඩුව සමයේ (2015.2019) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැති දෙකකට ගිය බවත් එහි ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම බව පොහොට්ටු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැලීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු අතර පසුගියදා සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනය අමාත්‍යාංශ මාරු කිරීමක් පමණක්ව බවත්ය. එය ඇමැති මණ්ඩල සංශෝධනයක් ලෙස සැළකිය නොහැකි බවය. “ජනාධිපතිවරයාට කැබිනට් සංශෝධනයක් කරන්න අයිතියක් තියෙනවා. කෙසේ වෙතත්, රජයටද යුතුකමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සහෝදර සන්ධාන පාක්ෂිකයන් දැනුවත් කර සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගැටුමක් සම්බන්ධයෙන් පැතිර යන කටකතා මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ ඇති අතර, වෙනත් කණ්ඩායම් විසින් එවැනි විරසකයක් පිළිබඳ කටකතා පැතිරවීමට උත්සාහ කරන බවට ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

ජනාධිපති ධුරය භාර ගන්නා ලෙස ආරාධනා කළේ, රනිල් වික්‍රමසිංහට පමණක් නොව සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ අනුර කුමාර දිසානායකටද ආරාධනා කළ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරිණත දේශපාලඥයෙක් ලෙස සන්ධාන සමඟ කටයුතු කිරීමේදී සාකච්ඡා කර තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවට මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පසුගියදා සිදුවූ නව ඇමැතිවරුන් පත් කිරීම කැබිනට් සංශෝධනයක් ලෙස පිළිනොගන්නා බවත් ඇතුළත තනතුරු හුවමාරු කර ගැනීමක් පමණක් සිදුව ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය පිළිබඳව පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිතාමතාම තම පක්ෂය ගත් තීරණාත්මකම තීරණය අමතක කර ඉහත සඳහන් ප්‍රකාශය කර ඇති බව පෙන්වා දිය යුතුව ඇත. ඒ පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි එවකට අග්‍රාමාත්‍ය වූ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස 2022 ජුලි 20 වන දින පාර්ලිමේන්තු ඡන්දයකින් පත් කර ගැනීමේ තීන්දුවයි.

පොහොට්ටුව එම ආන්දෝළණාත්මක තීරණය ගත්තේ එම පක්ෂයේම සැලකිය යුතු කණ්ඩායමක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ ද සහයෝගයෙන් ජනාධිපති සටනට ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ යුතු යැයි බලකර සිටි අවස්ථාවේදීය. අවසානයේ වික්‍රමසිංහ ඡන්ද 134 ලබා ගත් අතර අලහප්පෙරුමට හිමිවූයේ ඡන්ද 82 පමණි. එතැන් පටන් පොහොට්ටුව වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන.ආර්ථික.සමාජීය වැඩපිළිවෙල සමඟ පාර්ලිමේන්තුව තුළ කිසිදු පැකිලීමකින් තොරව පෙනී සිටියේය. එම පක්ෂයට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ කටයුතු කරනවා හැර වෙන විකල්පයක් නැත.

පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරයාට කළ අනතුරු ඇඟවීම විමසා බැලිය යුතු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට නියම කළ ආන්දෝලනාත්මක ආර්ථික ක්‍රියාවලිය සහ නව මහා බැංකු පනත සම්මත කිරීමට එම පක්ෂය දායක වූ බවද අවධාරණය කරමිනි. තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පිටින් ගනු ලැබූ එම තීරණ සමග කෙහෙළිය අමාත්‍යවරයාගේ ඉවත් කිරීම සහ නව අමාත්‍යධුරයක් පිරිනැමීම කිසිසේත් සංසන්ධනය කළ නොහැක. විශේෂයෙන්ම එම අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ තීන්දුව පිළිගෙන ඇති බැවින් පොහොට්ටු පක්ෂය තීරණාත්මක තීන්දුවක් සම්බන්ධයෙන් කතා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද යන ප්‍රශ්නය ද මතුවේ.

● නසීර් අහමඩ් නඩු තීන්දුවේ බලපෑම

එජාප නායක වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂ නායකයන්ගේ සිත් රිදවන බව රහසක් නොවේ. එතුමාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත් වහාම 30 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුව නියෝජනය කළ යුතු මන්ත්‍රීවරුන් නම්කර එම පක්ෂය නව නායකයාට ලිපියක් යැවූ බව එම පක්ෂයේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා ඔහුට අවශ්‍ය පොහොට්ටු කණ්ඩායම කැබිනට් මණ්ඩලයට පත්කර ගත්තේය. ඒ සමස්තයක් ලෙස හිටපු ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ තම ආණ්ඩුවේ අවසානයට පෙර තෝරාගත් කැබිනට් අමාත්‍යවරු කණ්ඩායමයි. අදටත් පොහොට්ටුවේ ඉල්ලීම ඉටු කර නැත. කරන බවක් පෙනෙන්නේද නැත. නමුත් පොහොට්ටුව සහ ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන විරසකය හේතුවෙන් ආණ්ඩු පක්ෂය අයවැයට ඡන්දය නොදීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළහොත් එම තත්ත්වය අද ජනාධිපතිවරයා සමඟ සිටින කණ්ඩායමට කුමන ආකාරයක බලපෑමක් කළ හැකිද?

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ට (කෙහෙළිය රඹුක්වැල්ල ට ලැබුණේ මෙම අමාත්‍ය ධුරයයි) මෑතකදී තම මන්ත්‍රී අසුන අහිමි විය. ඒ රටේ ඉහළම උසාවිය ප්‍රකාශ කළ අතිශය වැදගත් සහ දේශපාලනිකව වැදගත් තීන්දුවක් නිසාය. වර්තමාන තත්ත්වය තුළ එම තීන්දුව ජනාධිපතිවරයාට බලපාන අතර පොහොට්ටු පක්ෂයට වාසිදායක වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යවරයෙක් ලෙස පත්කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් තම පක්ෂයේ නිල තීන්දුවක් නොසලකා 2021 දෙසැම්බර් මාසයේ පැවති අයවැය ඡන්දයේදී ආණ්ඩුවට ඡන්දය දීම නිසා එම පක්ෂය ඔහුව නෙරපා හැරියේය. එහි ප්‍රතිපලයක් ලෙස අධිකරණය ඔහුගේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසනය අහිමි කළේය. තම පක්ෂයේ තීන්දුවකට පටහැනිව නසීර් අහමඩ් විධායක බලය වැඩි කිරීමට 20 වැනි සංශෝධනයට 2020 ඔක්තෝම්බර් මාසයේ ඡන්දය දුන්නේය. නමුත් ඊට පසුව පැවති 2021 අයවැය ඡන්දයේදී පක්ෂය ඊට එරෙහිව ඡන්දය දීමට නියමාකාරයෙන් ගනු ලැබූ තීන්දුව පයින් ගැසූ නසීර් අහමඩ්ට අත්වූ ඉරණම තම පක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන සියලුම මැති ඇමැතිවරුන්ට බරපතළ අනතුරු ඇඟවීමකි.

ජනාධිපතිවරයා සමඟ වර්ධනය වෙමින් පවතින විරසකය හේතුවෙන් අයවැයට සහයෝගය නොදී සිටීමට පොහොට්ටු පක්ෂය තීරණය කළහොත්, දැනට කැබිනට් මණ්ඩලයේ සිටින අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමට, රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම තීරණාත්මක අයවැය ඡන්දයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර ඇති පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු රොත්තට අනතුරුදායක තත්ත්වයකට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදුවෙනු ඇත. යම් හෙයකින්, සමගි ජන බලවේගය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමාකාරයෙන් තීන්දු තීරණ ගතහොත් එම තත්ත්වය දැනට අමාත්‍යධූර දරණ හරින් ප්‍රනාන්දුට සහ මනුෂ නානායක්කාරට ද බලපානු ඇත. ඒ එම පක්ෂය තම පක්ෂයෙන් පත්වූ ඔවුන් දෙදෙනා ආණ්ඩුවට සහයෝහය පලකළොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගතහොත්ය.

අධිකරණය නසීර් අහමඩ් ඉවත් කිරීම සියලුම දේශපාලන පක්ෂ පුදුම කළේය. ඒ දිගින් දිගටම පක්ෂ තීන්දු තීරණවලට පිටුපාමින් මන්ත්‍රීවරු තමන්ට වාසිදායක තත්ත්වයන් උදාකර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යම් පක්ෂ ගනු ලැබූ අධිකරණ ක්‍රියාමාර්ග අසාර්ථක වීම හේතුවෙනි. නමුත් නසීර් අහමඩ් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ජනතාව බලාපොරොත්තු වන බලපෑම මැති ඇමැතිවරුන්ට කළහොත් ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී දේශපාලනය උඩු යටිකුරු වෙනු ඇත. මෙවැනි තීන්දුවක් දශක දෙකකට වැඩි කාලයක් දී අධිකරණය දී නොමැත.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනය අසූචි වළක්ය. පසුගිය දශක දෙකකට වැඩි කාලයක් එම තත්ත්වය වර්ධනය වී අද වනවිට මුළු රටම ගඳ ගස්සවමින් එම අසූචි වළ උතුරා ගොස් ඇත. එම අවාසනාවන්ත තත්ත්වයට එකම හෝ ප්‍රධානතම හේතුව මන්ත්‍රීවරු තනි තනිවම හෝ කණ්ඩායම් ලෙස පක්ෂ මාරු කිරීම පමණක් නොවේ. එය එක සාධකයක් පමණි. පාර්ලිමේන්තු දේශපාලනය පිරිහීමට ප්‍රධානතම හේතුව විධායකය සහ විධායක බලතල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන අමාත්‍යවරුන්ගේ ක්‍රියා කලාපයයි. මන්ත්‍රීවරුන්ද ඊට දෙවෙනි වන්නේ නැත.

රුපියල් මිලියන 70 කට වඩා වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගුවේ ඇස්වසා රට තුළට ගෙන ඒමට තැත්කළ අලි සබ්රි රහීම් ජනතා නියෝජිතයෙක් ලෙස තවමත් පාර්ලිමේන්තුව පිළිගන්නා තත්ත්වය තුළ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය හෝ මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් සම්බන්ධයෙන් කතා කිරීමේ තේරුමක් නැත. දූෂණ, වංචා, අක්‍රමිකතා සහ රජයේ රෝහල් පද්ධතිය කඩා වැටීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කළ සුව ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට නව අමාත්‍යාංශයක් පිරිනැමීම අවධාරණය කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ක්‍රියාත්මක ආකාරයයි. නැතහොත් සියල්ලට ඉහළින් දේශපාලනය බව නැවත නැවතත් අවධාරණය කිරීමයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට රටේ සැබෑ වෙනසක් ඇති කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ කමිටුව ඇතුළු විවිධ කමිටු පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් විසින් එය සකස් කර තිබෙනවා.”

රටේ උත්තරීතර නීතියට පටහැනිව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කටයුතු කරන රටක (කුමන පක්ෂය බලයේ සිටියත්) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ විධායකය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය රටේ ආර්ථික .දේශපාලනික.සමාජීය ස්ථාවරත්වයට බරපතළ තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. සමස්ත රෝහල් පද්ධතිය අනතුරේ දැමීම සම්බන්ධයෙන් සුව අමාත්‍යාංශයට දැඩි චෝදනා එල්ල වී එය විශ්වාසභංග යෝජනාවක් ලෙස අදාළ අමාත්‍යවරයාට ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට එරෙහිව ඡන්දය දුන් සෑම මන්ත්‍රීවරයකුම එතුමාව ඉවත් කිරීම නිසා බලවත් අපහසුතාවයකට පත්වූ බව තේරුම්ගත හැකිය.

මන්ත්‍රී වරප්‍රසාද සම්බන්ධයෙන් හඬනඟන පාර්ලිමේන්තුව සමස්ත ජනතාවගේම ආර්ථික සුරක්ෂිතතාවය විනාශ කරන අසූචි වළේ පක්ෂ දේශපාලනය ‘සුපිරියට’ ක්‍රියාත්මක කරමින් සිටී. පාර්ලිමේන්තු ක්‍රියාදාමය අවධාරණය කරන්නේ 2022 අප්‍රේල් මාසයේ රට බංකොළොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දිනයේ සිට බදු පිට පටවනවා හැරෙන්නට රට නිවැරදි දිශාවකට ගැනීමට වික්‍රමසිංහ .රාජපක්ෂ ආණ්ඩුව ගෙන නොමැති බවයි.

රට බංකොළොත් වීමට හේතු වූ බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පුන පුනා පවසන 2017 පාර්ලිමේන්තුව සම්මත කළ විනාශකාරී විදේශ විනිමය පනත තවමත් ක්‍රියාත්මක පාර්ලිමේන්තුව තවමත් ජනතාව මුහුණ දෙන අතිශය අර්බුදකාරී තත්ත්වයට කිසිසේත්ම සංවේදී නොවන නිසයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment