හරක් කටා කුඩු සලිඳු සී.අයි.ඩී.යෙන් පන්නන්න හැදූ “Do or Die ” මෙහෙයුම

1559

මාකඳුරේ මධුෂ්ගෙන් පසු පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනෙක් වීමට සිහින මැවුවේ නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැති පාතාල අපරාධකරුය. එහෙත් ඔහුගේ එම සිහිනය බොද වුණේ මැඩගස්කරයේදී කුඩු සලිඳු සමග අත්අඩංගුවට පත්වීමත් සමගයි. එලෙස අත්අඩංගුවට පත්වූ ඔවුන් දෙදෙනාව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින්

මැඩගස්කරයට ගොස් යළි මෙරටට රැගෙන ආවේ දැනට මාස කිහිපයකට ඉහතදීය. ඉන්පසු මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධකරුවන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය. ඔවුන් දෙදෙනා මේ වනවිටත් එම දෙපාර්තමේන්තුවේ රඳවා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි ආරක්‍ෂාව යටතේ සිටියත් හරක් කටා ගැන විටින් විට පුවත් මැවෙන්නට පටන් ගත්තේය. එයින් පළමු පුවත වුණේ දැනට සති කිහිපයකට ඉහතදී හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමට ගත් උත්සාහයයි.

එදින දැඩි ආරක්‍ෂාව මැද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හරක් කටාගෙන් ප්‍රශ්න කරමින් සිටියහ. ඒ අතරතුර පොලිස් කොස්තාපල්වරයකු පැමිණ එම නිලධාරීන්ට කෑමට කිරිටොපි ලබාදුන්නේය. එය ආහාරයට ගත් නිලධාරීන් කිහිපදෙනෙකුට මත් ගතියක් දැනුණි. එතැනින් නොනැවතුණු එම කොස්තාපල්වරයා එම නිලධාරීන්ට කිරි තේ ද ලබා දුන්නේය. ඒ අතර හරක්කටා එම නිලධාරීන්ට මෙලෙස පැවසුවේය.

“සර් මට වැසිකිළි යන්න ඕනෑ”

“එවිට කිරි ටොපි සහ කිරි තේ ලබාදුන් කොස්තාපල්වරයා එම නිලධාරීන්ට මෙලෙස පැවසුවේය.

“සර් මට පුළුවන් මෙයාව වැසිකිළියට අරන් යන්න. ඒ ගැන බයවෙන්න එපා.”

කොස්තාපල්වරයාගේ කීමට එකඟවූ එම නිලධාරීන් හරක් කටාව වැසිකිළියට රැගෙන යෑම සඳහා අවසරය දුන්නේය. ඒ අනුව එම කොස්තාපල්වරයා හරක් කටාව වැසිකිළිය වෙත රැගෙන ගියේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ ආරක්‍ෂාව ද සමගය.

ඒ අතරතුරදී සිදුවූයේ නොසිතූ දෙයකි. වැසිකිළියෙන් එළියට පැමිණි හරක් කටා එක්වරම ඔහුගේ ආරක්‍ෂාවට සිටි නිලධාරියාගේ ගිනි අවිය උදුරා

ගැනීමට උත්සාහ කළේය. එහෙත් එය අසාර්ථක වූයේ එම නිලධාරියා හරක් කටා සමග පොර බැඳීම නිසාය. එතැනින් නොනැවතුණ එම නිලධාරියා කෑගසමින් අනෙක් නිලධාරීන්ගෙන් උදව් ඉල්ලුවේය. ඒ සමගම පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරක් කටාව තම ග්‍රහණයට හසුකර ගත්තේය. ඒ කාලය අතරතුර හරක් කටාව වැසිකිළිය වෙත රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා හොර රහසේම එම ස්ථානයෙන් පැන ගත්තේය.

පසුව ඒ පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක් පැවැත්විය. එහිදී හෙළි වුණේ මත්වෙන ලෙස සැකසූ කිරිටොපි නිලධාරීන්ට ලබාදී හරක් කටාට පැනයෑම සඳහා ඉහත සඳහන් කළ කොස්තාපල්වරයා උදව් කර ඇති බවයි. නමින් සන්දීප වන මෙම පොලිස් කොස්තාපල්වරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. තවද මෙම සැලසුම ඉරිදා දිනක ක්‍රියාත්මක කර තිබුණේ එදින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම අඩු නිසාය.

හරක් කටාට පැනයෑම සඳහා උදව් උපකාර කළ සන්දීප නමැති මෙම පොලිස් කොස්තාපල්වරයා ගැන නිවැරදි තොරතුරක් ලබාදෙන අයකුට ලක්‍ෂ විසිපහක ත්‍යාග මුදලක් පිරිනැමීමට ද පොලිස් දෙපාර්තමේන්තුව සූදානමින් සිටී. එහෙත් බුද්ධි තොරතුරු අනාවරණය කරනුයේ බොහෝ දුරට මොහු විදෙස් රටකට පැනගොස් ඇති බවයි.

මෙතැනින් නොනැවතුණු හරක් කටා තම නීතිඥයන් මාර්ගයෙන් විටින් විට අධිකරණයට පවසා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමා ඝාතනය කිරීමට සූදානමින් සිටින බවයි. ඒ අනුව අධිකරණය විසින් හරක් කටාට සහ කුඩු සලිඳු යන සැකකරුවන් දෙදෙනාට පිටතින් ආහාර ලබාගැනීමට පවා අවසරය ලබාදී තිබිණි.

හරක් කටා කුඩු සලිඳු සී.අයි.ඩී.යෙන් පන්නන්න හැදූ "Do or Die " මෙහෙයුම
හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් වූ අවස්ථාව

මෙවැනි දෑ අතර හරක් කටා ගැන අලුත්ම කතාවක් අසන්නට ලැබුණේ පසුගිය 24 වැනිදාය. ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශේෂ පුහුණුවක් ලැබූ දැනට සේවයේ නොමැති පිරිසක් යොදාගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රසායනික ප්‍රහාරයක් එල්ල කර හරක් කටා සහ කුඩු සලිඳු බේරා ගැනීමේ මෙහෙයුමක් පිළිබඳවයි. මෙම මෙහෙයුම පිටුපස සිටින්නේ හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පාතාල කල්ලි සාමාජිකයකු වන මිදිගම චූටිය. මීට පෙර හරක් කටාට මෙරටින් පැන යෑම සඳහා උදව් උපකාර කර ඇත්තේ මෙම මිදිගම චූටි නමැති පාතාල අපරාධකරු විසින්ය.

හරක් කටා සහ කුඩු සලිඳු බේරාගැනීමේ මෙහෙයුම නම්කර තිබුණේ ”Do or Die” යනුවෙනි. හිටපු කොමාන්ඩෝ සෙබළුන් විසින් සැලසුම් කර ඇති මෙම මෙහෙයුමේ කොන්ත්‍රාත්තු මුදල කෝටි 100කට ආසන්න වේ. එමෙන්ම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී ආරක්‍ෂක අංශ විසින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී තමන් ඝාතනය වුවහොත් තමන්ගේ දරු පවුල්වලට සැලකිය යුතු ආකාරය පිළිබඳව ද මෙම කොමාන්ඩෝ සෙබළු කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයාට පවසා තිබේ.

තවද හරක් කටා සහ කුඩු සලිඳු බේරා ගැනීමේ මෙහෙයුම සැලසුම් කර ඇත්තේ දැනට සති කිහිපයකට ඉහතදීය. එහිදී අධි තාක්‍ෂණික දුරකථන උපයෝගී කර ගනිමින් විදෙස් රටක පුද්ගලයන් සමග ද සම්බන්ධතා ඇතිකර ගෙන තිබේ.

“Do or Die” මෙහෙයුම සඳහා හිටපු කොමාන්ඩෝ බළකායේ සෙබළු හයදෙනෙක් සම්බන්ධ අතර ඒ අතරින් විවිධ සටන් ක්‍රම උපයෝගී කර ගනිමින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ සටන් කළ අයද සිටී.

මෙම කණ්ඩායමේ මූලික පියවර වී ඇත්තේ යුද හමුදා කමාන්ඩෝ බළකායේ සෙබළුන් සේ සැරසී නවීන අවි ආයුධ සහිතව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වී එම නිලධාරීන්ට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ව සිහිසුන් කිරීමයි. ඒ අතර ප්‍රති ප්‍රහාරයක් එල්ල වුවහොත් එයට ද මුහුණ දීමට ඔවුන් සැලසුම් කර තිබිණි.

“Do or Die” මෙහෙයුම සාර්ථකව අවසන් කර හරක් කටා සහ කුඩු සලිඳු බේරාගත් පසු පොරොන්දු වූ කෝටි 100ක මුදල ඔවුන්ට ලබාදීමට කොන්ත්‍රාත්කරු පොරොන්දු වී තිබිණි.

හරක් කටා සහ කුඩු සලිඳු බේරාගැනීමේ “Do or Die” මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට මෙවරද නොහැකි විය. ඒ මෙම මෙහෙයුම පිළිබඳ තොරතුරු රහස් පොලිසිය වෙත කලින්ම ලැබී තිබූ නිසාය. ඒ අනුව මෙම මෙහෙයුමට සම්බන්ධ හිටපු කොමාන්ඩෝ සෙබළු දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනාගෙන් ලබාගත් තොරතුරු මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණයට ඒ පිළිබඳව වාර්තාවක් ලබාදුන්නේ මෙලෙසින්ය.

බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ විශේෂ පුහුණුවක් ලැබූ දැනට හමුදාවෙන් පලාගොස් පාතාලය සහ එක්ව කටයුතු කරන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළට සන්නද්ධව පැමිණ එම නිලධාරීන්ට රසායනික ගිනි අවි ප්‍රහාරයක් එල්ලකර ඔවුන්ව සිහිසුන් කර එහි සැකපිට සිටින පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන හරක් කටා සහ කුඩු සලිඳු නිදහස් කර ගැනීමයි. මේ සඳහා හයදෙනකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වන අතර ඔවුන් ද හිටපු කමාන්ඩෝ බළකායේ සෙබළුන් වේ.

මෙම ප්‍රහාර සැලසුමට සම්බන්ධව අත්අඩංගුවට ගත් හිටපු සෙබළුන් දෙදෙනා රඹුක්කන සහ මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි. මොවුන් අධිකරණ නියෝග මත දින අනූවක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට ද පියවර ගෙන ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment