රට යන නිලධාරීන්ට පරණ දීමනා යළි ලැබෙයි

172

රජයේ නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා විදේශයන්ට පිටත්ව යන අවස්ථාවන්හිදී ගෙවීම අත්හිටුවා තිබූ ඩොලර් දීමනා යළි ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.

අනියම් දීමනා, සංයුක්ත දීමනා, සංග්‍රහ දීමනා ආදිය වශයෙන් ඔවුනට මීට පෙර ගෙවූ දීමනා නැවතත් ලබා දීමට ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. මෙම උපදෙස් අනුව පසුගිය 20 වැනිදා සිට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඒ සඳහා නිසි අවසරය ලබා දී තිබේ.

ඒ අනුව යම් නිලධාරියකු විදේශ සංචාරයක් සඳහා නියැළෙන අවස්ථාවකදී අනියම් වියදම් පියවා ගැනීම වෙනුවෙන් දිනකට ඔහුට ඇමරිකානු ඩොලර් 25 බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවීම් සිදු කෙරේ.

ඊට අමතරව එම මුදල් ගෙවීම ඉහළ නිලධාරීන් වෙනුවෙන් ඩොලර් 40 බැගින් උපරිම දින 10ක් සඳහා අවසර ලබා දී ඇත.

නවතා දමා තිබූ සංයුක්ත දීමනාව සියයට තිහකින් කප්පාදු කර ගෙවීමට ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අවසර දී ඇත.

මේ අතර යම් නිල චාරිකාවකදී එහි නායකත්වය දරන ඇමැතිවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයකුට සංග්‍රහ දීමනා ගෙවන්නේ නම් අදාළ රටෙහි තානාපති කාර්යාලය හරහා ඩොලර් 750 ක මුදලක් ගෙවිය හැකිය.

කෙසේ වෙතත් මෙවැනි සංචාරවල දී දේශීය අරමුදල් මගින් වියදම් දරමින් රජයේ නිලධාරීන් සහභාගි නොකළ යුතු බව ද මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දන්වා ඇත.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment