සෞඛ්‍ය වෘත්තීය සමිති 30ක් හෙට වර්ජනයේ – GMOA සහාය දෙන්නේ නැහැ

262

වෘත්තීය සමිති මර්දනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත් කර නොගන්නේ නම් යොදාගත් පරිදි හෙට (03 දා) සිය වෘත්තීය සමිති 30 ක් පමණ සංකේත වර්ජනයේ යෙදෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ඊයේ (01 දා) පැවසීය.

සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳීම වෙනුවට ඒවා හෙළිදරව්වීම් වැළැක්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත්, එය ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවත් පැවසූ ඒ මහතා මෙම එක්දින වර්ජනයෙන් රෝගීන් අපහසුතාවට පත්වුවහොත් එහි වගකීම බලධාරීන් භාර ගත යුතු බව ද පැවසීය.

සෞඛ්‍ය සේවයේ වත්මන් අර්බුදය කුමක්ද? එහි නිර්මාපකයන් කවුද? සැබෑ සෞඛ්‍ය අර්බුදය යට ගැසිය හැකිද? එය නිවැරැදි කිරීමට ගත යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් හෙට සවස 3.00 ට කොළඹ විජේරාම මාවතේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරී සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී හමුවක් පවත්වන බව ද ඔහු කීය.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහාය නොදක්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසීය.

වෘත්තීය සමිති හා එහි සාමාජිකයන් මර්දනය කිරීමට දරන උත්සාහය හෙළා දකින බවත්, එයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් භාරදුන් බවත් පැවසූ ඒ මහතා ඊට අමතරව නීති උපදෙස් ගැනීමට කටයුතු කර තිබෙන බව ද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment