ශ්‍රී ලංකා මහතා සහ එම මහත්මිය 2

3234

(ජාතික ගීය විකෘති කිරීමේ අපරාධය 02)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ගයන ලද ජාතික ගීයේ opera version එක නිසා මේ දිනවල කිසියම් මතභේදයක් හටගෙන තිබේ. මෙය සංස්කෘතික මතභේදයකි. ඊළඟට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නෛතික ප්‍රශ්නයක් බවට ද පත්වේ. ආනන්ද සමරකෝන් විසින් 1940 දී මේ ගීතය රචනා කළ ආකාරය ගැන අපි ඊයේ කතුවැකියෙන් විස්තර කළෙමු. උපතින් අන්‍ය ආගමිකයකු වූ සමරකෝන් ඉන්දියාවේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයෙන් කලාව සහ සංගීතය උගෙනීමට ගිය අතර හය මාසයකට පසුව එය අත්හැර දමා ලංකාවට පැමිණ ගුරුවරයෙක් ලෙස වැඩ පටන් ගත්තේය. ඔහු විසින් ලියන ලද නමෝ නමෝ මාතා නමැති ගීතය මේ රටේ ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගැනීමට 1951 දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේය. ඒ සඳහා ශ්‍රීමත් එඩ්වින් විජේරත්න නමැති උගත් දේශපාලනඥයාගේ නායකත්වයෙන් පිහිටුවන ලද කොමිටියක අනුමැතිය ද ලැබිණ. එහෙත් මේ ගීතය ඇසූ කිසියම් ගතානුගතික හරක් රැළක් නමෝ නමෝ මාතා යන පදවල ගණ හොඳ නැති බවත් එමගින් මේ රටේ දේශපාලනඥයන්ට කෙළවෙන බවත් සඳහන් කිරීම නිසා ශ්‍රී ලංකා මාතා යන පද පෙළින් ගීතය ආරම්භ කරන ලදි. තම ගීතය වෙනස් කරන බවක් ආනන්ද සමරකෝන් දැන සිටියේ නැත. ඉන්පසු මෙරට ගුවන් විදුලි සංස්ථාවට කැඳවනු ලැබූ සමරකෝන්ට අලුත් ගීතය ඇසීමට සලස්වන ලදි. ගීතයේ පද වෙනස් කිරීම ගැන මහත් සේ කලකිරීමට පත්වූ ආනන්ද සමරකෝන් ආපසු නිවස බලා ගියේ මහත් දුකිනි. එතැන් පසු එළඹී දස අවුරුද්ද තුළ කිසිදු නිර්මාණ කාර්යයක නොයෙදුණු හෙතෙම දිගින් දිගටම කල්පනා කරමින් කාලය ගත කර 1962 අප්‍රේල් 5 දා නිදි පෙති බී සිය දිවි නසා ගත්තේය. ආනන්ද සමරකෝන් තම ගීතයට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් උසාවි නොගොස්, උද්ඝෝෂණ නොකොට, පෙත්සම් නොගසා කාරණය අවසන් කරන ලද්දේ ජීවිතය දීමෙනි. “ශ්‍රී ලංකා මාතා” වෙනුවට “ශ්‍රී ලංකා මහතා” ලෙස සිංහවංශ මැතිනිය ගායනා කරන ගීතය ඇසුවේ නම් ආනන්ද සමරකෝන් මෙවර බොන්නේ නිදි පෙති නොව සයනයිඩ් ය. අපගේ වැටහීමට අනුව “ශ්‍රී ලංකා මහතා” යනුවෙන් ගායනා කළ යුත්තේ ක්‍රිකට් තරගාවලියක සමාරම්භය වෙනුවෙන් නොව Mr. Ceylon වැනි අයෝමය පුරුෂයා තේරීමේ තරගයකදීය. Mr. Ceylon යන යෙදුමට ශ්‍රී ලංකා මහතා යන්න ඉතා හොඳට ගැළපේ.

උමාරා සිංහවංශ යනු මේ රටේ සංගීත කලාවේ නව මානයන් පුබුදුවාලූ ශාස්ත්‍රීය දැනුමක් ඇති ගායිකාවකි. ඇය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ලංකාවේ ජාතික ගීයට පටිසෝතගාමි ස්වරූපයක් ලබාදෙමින් එහි තාලය සහ හඬ මෙහෙයවීම ‘ඔපෙරා’ සංගීත ස්වරූපයට ගෙනවුත් Radicalize කිරීමට උත්සාහ කර ඇත. එහෙත් ජාතික ගීය, ජාතික කොඩිය, පිරිත් සහ දේව මෙහෙයයන් වැනි ආගමික කියවීම් එයට ආවේණික තාලය සහ මාත්‍රාව යොදාගෙන මිස වෙනත් විදියකට ගායනා කරනු නොලැබේ. මෙය චාරිත්‍රයකි. හැබැයි මේ චාරිත්‍රය කැඩීමට බැරිය. එයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ මේ චාරිත්‍රය එලෙසම පැවතීම නිසා එයට නෛතික ස්වරූපයක් ලැබීමය. ඊළඟට, ශ්‍රී ලංකාවේ බහුතර ජනයාට ඔපෙරා සංගීතය පුරුදු නැත. එය යුරෝපීය සංගීත ශානරයකි. ඇතැම් ඔපෙරා ගීතයක් ගයන විට අපට එය ඇසෙන්නේ රාත්‍රී කාලයේදී බල්ලන් උඩුබුරලෑමට සමානව ය. මේ නිසා උමාරා සිංහවංශගේ ගායනාව සුනඛ වංශයේ ප්‍රවේශයක් ගෙන තිබේ. සංස්කෘතිය සමග බැඳී පවතින කිසිම දේකට අප අත තැබිය යුතු නැත. ඉන්දියාවේ මෙවැනි දෙයක් සිදුවී නම් මේ වන විට ඇති විය හැකි තත්ත්වය යම් තරමකට සීරියස් ය.

ජාතික ගීය යනු ලෝක සංස්කෘතික ඉතිහාසයේ කොටසකි. එය නිතරම දේශප්‍රේමී ස්වභාවයක් ගනී. මීට අවුරුදු 500 ට පෙර පැවති මධ්‍යකාලීන යුගයේදී ජාතික ගීත හෙවත් National Anthem යනුවෙන් ගීත වර්ගයක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ රටේ රජතුමා හෝ ගෝත්‍රික නායකයාට සුබ පතන, දීර්ඝායුෂ පතන, ශක්තිය ප්‍රාර්ථනා කරන ගීත විශේෂයකි. සිංහල සංස්කෘතිය තුළදී මෙවැනි ගීත වන්දිභට්ට ගීත ලෙස හඳුන්වනු ලැබේ. මේ වර්ගයේ අප දන්නා ප්‍රසිද්ධම ගීතය වූකලී එක්සත් රාජධානියේ රජතුමා හෝ රැජනිය ආරක්ෂා කරදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් ගායනා කරන God save the king ගීතයයි. මෙය 1619 දී සාදන ලද අතර හිරු නොබසින අධිරාජ්‍යයට අයත් සෑම රටකට ජාතික ගීය ලෙස ගායනා කරනු ලැබීය. මේ ගීතය දෙස බැලූ ස්පාඤ්ඤ රාජ පරම්පරාව 1770 දී තමන් වෙනුවෙන් ද වන්දිභට්ට ගීතයක් ලියවාගෙන රාජ්‍ය උත්සවවලදී ගායනා කරවීය. 1939 දී ස්පාඤ්ඤවරු මේ ගීතය එහා මෙහා කොට රට, ජාතිය සහ ආගම යන කාරණා තුන ද නියෝජනය වන පරිදි අලුත් ගීතයක් ලියවාගත් අතර එය ලෝකයේ පළමුවන ජාතික ගීය විය හැකිය. එතැන් පටන් ජාතික ගී සම්ප්‍රදාය ලොව පුරා පැතිර ගියේය. 1948 වන තුරුත් මේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නමැති කෙසෙල් ඇවරියේ කෙසෙල් ගෙඩියක් වූ බැවින් ජාතික ගීයක් නැති රටක් ලෙස පැවතින. සෑම උත්සව අවස්ථාවකදීම අපට ගායනා කිරීමට සිදුවුණේ God save the king යන ගීතයයි. අන්තිමට 1948 දී God ඉතිරි වී king ට ලංකාවෙන් යෑමට සිදුවිය. ජාතික ගීයක අවශ්‍යතාවය මේ රටට මතුවන්නේ එතැන් සිටය.

උමාරා සිංහවංශගේ ජාතික ගීයේ ඔපෙරාකරණය පිළිබඳ අත්දැකීම ඒ වර්ගයේ පළමු වරද විය හැකි නමුත් ඒ සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලමු. උමාරා සමග හෝ ඔපෙරා සමග හෝ ප්‍රීමියර් ලීග් තරගාවලිය සමග හෝ අපට කිසිදු තරහක් නැත. අපට තරහ යන්නේ මෙවැනි පර්යේෂණාත්මක ගොන් වැඩ නිසා ජාතික හා සංස්කෘතික මට්ටමෙන් ඇති විය හැකි කලබැගෑනි ගැනය.

advertistmentadvertistment
advertistmentadvertistment