රඟපෑම හින්දා රස්සාවෙන් අස්වුණා – කව්මිණි තත්සරණි

160

එකම චරිතයකට කොටුවෙන්න කැමැති නෑ..

සතියේ දිනවල රාත්‍රී 9.00ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන “උන්මාදිනී” ටෙලි සිත්තමේ “සනාෂා” නමැති ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් 2021 වසරේ ජාතික රූපවාහිනී නාලිකාවේ අවුරුදු කුමරිය තරඟාවලියේ රූ කිරුළ දිනා ගන්නට ද වාසනාවන්ත වූ මනා රූ සපුවකින් යුත් සුන්දර තරුණියක් තමයි කව්මිණී තත්සරණි කියන්නේ. කව්මිණීගේ කලා ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් විස්තර දැන ගන්නට බලා සිටින ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන්ම අපි මෙවර ඇයත් සමග සුහද කතාබහක යෙදුණා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

ජීවිතේ සුන්දරයි. උන්මාදිනී එක්ක හොඳට ම කාර්යබහුලයි. ඉතින් උන්මාදිනී එක්ක මේ දවස්වල ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවා.

රඟපෑම හින්දා රස්සාවෙන් අස්වුණා - කව්මිණි තත්සරණි

“සනාෂා” ගැන මොකද හිතෙන්නේ?

ඒක මට ලැබුණු විශේෂ චරිතයක්. මම ආදරය කරන චරිතයක්. ඇත්තට ම සනාෂාගේ චරිතය මට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම හරිම ආදරෙන් ඉදිරියට කරගෙන යන චරිතයක්.

“සනාෂා” මොනවගේ ද?

වෙනස් ම විදියක චරිතයක්. මම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. සනාෂාගේ චරිතයෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කිව්වොත් මම නිවැරදියි. සනාෂා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම “උන්මාදිනී” බලන්නම වෙනවා.

රඟපෑම හින්දා රස්සාවෙන් අස්වුණා - කව්මිණි තත්සරණි

“උන්මාදිනී” ටෙලි නාට්‍යයට සම්බන්ධවෙන්න ආරාධනා ලැබුණේ කොහොම ද?

“උන්මාදනී” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා හසුන් සමීර අයියා හරහා තමයි මට ආරාධනාව ලැබෙන්නේ. ඔහුගේ කලින් නිර්මාණයකටත් මම සම්බන්ධ වුණා. ඒ “ඇස්” ටෙලිනාට්‍යයට. ඇස් ටෙලිනාට්‍යයෙන් පසුව තමයි මට “උන්මාදිනී” ටෙලි නාට්‍යයත් සමග සම්බන්ධ වන්නට අවස්ථාව ලැබෙන්නේ.

කව්මිණී කලා ක්ෂේත්‍රයට පිවිසුණු අයුරු සිහිපත් කළොත්?

මම 2021 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙලා ජාතික රූපවාහිනී රූ කුමරිය විදියට කිරුළු දරනවා. ඊට පස්සේ තමයි කලා ක්ෂේත්‍රයට එන්න ඕනේ කියන එක හැදෙන්නේ. ඒ කියන්නේ කලාවට සම්බන්ධවෙන්න මට විශාල අවස්ථාවන් රැසක් එනවා. ඒත් එක්ක ම තෝරාගැනීම් එක්ක මම මේ ගමන එනවා.

ඔබ රංගනයෙන් දායක වූ ප්‍රථම ටෙලි නිර්මාණය?

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ “වලවෙට්ටුවා”ටෙලි නාට්‍යයෙන් තමයි ප්‍රථම රංගන අත්දැකීම ලබාගත්තේ. ඊට පස්සේ විකාශනය වූ ටෙලි නිර්මාණය තමයි “ඇස්” ටෙලි නාට්‍යය.

මේ වනවිට ඔබ වැඩිදුර අධ්‍යාපනය හදාරනව ද?

ඔව්. මම තවම ව්‍යාපාර පරිපාලන අංශයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන ගමන් ඉන්නේ.

පවුල විස්තර මොනව ද?

මගේ ගම ගම්පහ. මගේ පවුල ටිකක් ලොකු පවුලක්. පවුලේ ඉන්නේ, අම්මා, තාත්තා, අයියා, නංගිලා දෙන්නා, ආච්චි සහ සීයා.

කලා ක්ෂේත්‍රයට එනවට ගෙදරින් අකමැති වුණේ නැද්ද?

අකමැත්තක් තිබුණේ නැහැ. මොකද පරිස්සම ගැන හැම වෙලාවෙම මම හිතනවා. අම්මා හැම වෙලාවෙම මගේ පස්සෙන් එනවා. අයියා තමයි පොඩ්ඩක් යන්නම ඕනද කියලා වගේ ඇහුවේ. කොහොමත් අයියලා එහෙමනේ. ඉතිං අම්මා නිතර මගේ ළඟින් ඉන්න නිසා සහ මම මගේ පරිස්සම ගැන නිතරම හිතෙනවා කියලා පවුලේ අය දන්න නිසා එයාලගේ අකමැත්තක් නැහැ. මම කරන වැඩ එයාලා සතුටින් බලනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?

ලොකු සහයෝගයක් ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාරත් එහෙමයි. මම අම්මත් එක්ක ෂූටින් යන්නේ. එහෙම ආවම ඇත්තට ම අම්මයි මමයි දෙන්නම ගෙදර නැහැ. ඒ වේලාවට ගෙදර අය, විශේෂයෙන්ම ආච්චි හැම වැඩේම බැලන්ස් කරගෙන ගෙදර වැඩත් කර ගන්නවා. ඉතින් ගෙදර අයගෙන් මගේ වැඩ නිදහසේ කරගන්න නිතරම මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

වැඩිපුර ම කැමැති මොනවගේ චරිතයකට ද?

මම එකම චරිතයකට කොටු වෙලා ඉන්න කැමැති නැහැ. මේ උන්මාදනිී ටෙලි නාට්‍යයේ සනාෂාගේ චරිතය තෝරා ගන්නත් විශේෂ හේතුවක් වුණා. මොකද අපි විවිධ චරිතවලට යන්න ඕනෑ කියන තැන තමයි මම ඉන්නේ. ප්‍රේමවන්තියගේ චරිතයම හැමදාම කරන්න ඕනෑ නැහැ. චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න තමයි මගේ ආසාව තියෙන්නේ.

ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ?

ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳට ම ලැබෙනවා. මාව හරි ආදරයෙන් වැළඳ ගන්න ලොකු පිරිසක් ඉන්නවා. මට කතා කරන අයත් ගොඩක් ඉන්නවා. මමත් එයාලට ගොඩක් ආදරෙයි.

මේ වනවිට කව්මිණී ප්‍රේමවන්තියක් ද?

ඒක අපි බලමු ඉස්සරහට නේ.

සුන්දර යුවතියක් විදියට ආදරය දැනෙන්නේ කොහොමද?

ආදරය හොඳයි. ආදරේ කියන්නෙ අපි ඉපදුණ දවසේ ඉඳලා අපට දැනෙන දෙයක්. හැමදේම ආදරේ තමයි. ආදරේ තමයි අපේ මූණට හිනාවක් ගේන්නේ. ආදරය කියන්නෙ, සුන්දර දෙයක් වගේම ආදරණීය දෙයක්.

ඔබ වෘත්තිමය රංගන ශිල්පිනියක් ද?

මම රැකියාවක නිරත වෙලා හිටියා. හැබැයි රංගන කටයුතුයි අධ්‍යාපන කටයුතුත් ඔක්කොම නිසා රැකියාවෙන් ඉවත් වුණා. අධ්‍යාපනයට තමයි මම මුල්තැන දීලා තියෙන්නේ. ඒ නිසා මේ දිනවල රංගන කටයුතුයි අධ්‍යාපන කටයුතුයි දෙකම සමබරව කරගෙන යනවා. හැබැයි වෘත්තීමය වශයෙන් රංගන ක්ෂේත්‍රයේ දිගට ම ඉඳීවි ද නැද්ද කියන එක ගැන තවම තීරණයක් අරගෙන නැහැ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment