තුවක්කු බස

811

ගම්පහ මල්වතුහිරිපිටියේ පන්සලකදී භික්‍ෂුවක් ඝාතනය කළ වෙඩික්කරුවකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. වෙඩික්කරු විසින් භික්‍ෂුව පරලොවප්‍රාප්ත කරන ලද්දේ මැණික් ගලක් බෙදාගැනීම සම්බන්ධයෙන් හටගත් ආරවුලකදීය. මේ භික්‍ෂුව හඳහන් බලන සහ මන්තර ගුරුකම් කරන අයකු බව දැන ගන්නට තිබේ. වෙඩික්කරු තවත් පිරිසක් සමග හඳහන් බලන තැනටම පැමිණ හාමුදුරුවන්ට ඩාං ඩූන් යනුවෙන් වෙඩි තබා පැන ගියේය. පෙර කී මැණික නිධානයකින් ලබාගත් එකක් බව කියනු ලැබේ. සමහරවිට අපගේ භික්‍ෂු ප්‍රතිරූපකයා මැණික බෙදා ගැනීමට අකමැති වෙන්නට ඇති. මේ අතර අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු සැඟවූ ආයුධ පෙන්වීම සඳහා ගෙන යෑමට පොලිසියට සිදුවිය. මෙතැන් සිට මේ කතාව දෙයාකාරයකින් අවසන් වීමට ඉඩ තිබේ. එක්කෝ සැකකරු පලා යෑමට තැත් කරයි. එවිට පොලිසිය ඔහුට වෙඩි තබා මරයි. නැතහොත් සැකකරු සැඟවූ ආයුධයක් එකනෙහිම එළියට ඇද පොලිසියට වෙඩි තබයි. පණ බේරාගැනීම සඳහා පොලිසිය වෙඩි තබන අතර එයින් එක වෙඩිල්ලක් වැදී අපරාධකරු මියයයි. වැඩි දෙනා නොදන්නවාට සැඟවූ ආයුධ පෙන්වීමට ගොස් වෙඩි කෑමේ ක්‍රියාවලිය උපදින්නේ ලංකාවෙනි. 1980 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණේ මිල්ටරි අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා රෝහණ විජේවීර ඝාතනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. පසුව දීර්ඝ සහ තියුණු පරීක්‍ෂණයකින් අනතුරුව විජේවීර අත්අඩංගුවට ගෙන බොරැල්ලේ කනත්තේදී මරණ ලදී. එම සිද්ධියෙන් පසු දින ප්‍රකාශයක් නිකුත් කළ එවකට පැවති ආණ්ඩුව සැඟවූ අවි පෙන්වීම සඳහා විජේවීර පොලිසිය සමඟ රහසිගත තැනකට ගිය බවත් එහිදී ඩී. එම්. ආනන්ද නමැති සන්නද්ධ ක්‍රියාකාරිකයා විසින් විජේවීරට වෙඩි තබන ලද බවත් සඳහන් කළේය. සාමාන්‍යයෙන් මෙය පිළිගැනීමට හැකි කතාවකි. අපරාධ ස්ථානයකට ගිය කල්හි වෙඩි කෑමට ඇති ප්‍රවනතාව ඉහළය. ආයුධ සැඟවූ තැනක් යනු අපරාධ ස්ථානයකි. විජේවීරගෙන් පසු ආයුධ පෙන්වීමට ගොස් වෙඩි කන කට්ටිය ගැන අපට දිගින් දිගටම දැන ගැනීමට ලැබිණ. මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් කොම්පැණි පවත්වාගෙන යන අය තුළ දැඩි විරෝධයක් තිබේ. ඔවුන් කියන්නේ අපරාධකරු නඩු විභාගයකට යටත් කර දඬුවම් කළ යුතු බවය. එහෙත් පොලිසිය ක්‍ෂණික ක්‍රියාකාරිත්වය මගින් පෙනී යන්නේ අපරාධකරු එවැනි නෛතික ක්‍රියාමාර්ගයක් සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවය. ආයුධ පෙන්වීමට ගිය සැණින්ම අතට අසුවන ආයුධයෙන් ඔහු පොලිසියට වෙඩි තබයි. කවුරුත් නිකරුනේ වෙඩි කෑමට කැමති නැත. පොලිසියත් එසේමය.

නඩු විභාගවලින් තොරව මනුෂ්‍යයන් ඝාතනය කිරීම ගැන මේ පුවත්පත අත්‍යන්තයෙන්ම විරුද්ධය. සාමාන්‍යයෙන් නඩු විභාග නැතිව මිනිසුන් මරන්නේ අල් කයිදා, අයි එස් අයි එස් වැනි සංවිධාන පමණි. ඊට අමතරව මත්ද්‍රව්‍ය වෙළෙඳාම බහුලව පවතින ලතින් ඇමරිකානු රටවලද ගෝත්‍රික නීති පමණක් පවතින ඇතැම් අප්‍රිකානු රටවල ද කිසිදු නඩුවක් නොඅසා මිනිසුන් මරණු ලැබේ. මේ සියලු කාරණාවලට මේ පුවත්පත ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ බව අපි නැවතත් කියමු. එහෙත් කිසියම් රටක ජන සමාජය සාපරාධීත්වය විසින් ගිලගනු ලබන්නේ නම් එය පාලනය කිරීම සඳහා උසාවි පොලිසිවලින් පිටතට යෑමට විවිධ කණ්ඩායම්වලට සිදුවේ. ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයෙන් පසු ඉතා භයානක ලෙස සාපරාධී රාජ්‍යයක් බවට පත් විය. රට පුරාම කුඩු පැතිර ගිය අතර පාසල් යන පොඩි එවුන් පවා කුඩු ගසන තත්ත්වයක් ඇතිවිය. ඊට අමතරව දාමරික කණ්ඩායම් අතට අවි ආයුධ එන්නට පටන්ගෙන තිබිණ. මෙහි මීළඟ පියවර වශයෙන් ලංකාවේ අපරාධ මෙහෙයවීම ඩුබායි සහ චෙන්නායි යන නගරවල සිට සිදුකරන ලදී. එම අපරාධ කිරීමට නියෝග දුන් අය වට්ස් ඇප් හෝ වීඩියෝ කෝල් මාර්ගයෙන් එම අපරාධ සිදුවන ආකාරය සජීවී ලෙස නැරඹූහ. ඔසාමා බිල් ලාදින් යනු තුවක්කුවේ භාෂාව හොඳටම තේරුම් ගත් කෙනෙකි. එසේම ප්‍රභාකරන් ද තුවක්කු භාෂාව පිළිබඳව මනා පරිචයක් ලත් කෙනෙක් විය. අවසාන කාලයේදී ඔහුට දෙමළ භාෂාව අමතක වූ අතර තුවක්කු භාෂාව පමණක්ම මතක සිටියේය. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. යන වදන අදට මෙන්ම හෙටට ද සනාථ වන්නේමය.

advertistmentadvertistment
advertistmentadvertistment