බංකොළොත් රට ගොඩගන්න පුළුවන්ද?

876

රට බකොළොත් වුණේ ඇයි? ඊට වගකිව යුත්තේ කවුද? මේ ප්‍රශ්නයට පෙරේදා (17 වැනිදා) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරක් දී තිබිණි. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදී අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු හමුවූ අවස්ථාවේ දී රට බංකොළොත් වීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනා ඊට වගකිව යුතු බවයි.

ප්‍රශ්නයක් ඇති විට ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා හොඳම මාර්ගය වන්නේ අදාළ ප්‍රශ්නයට තුඩුදුන් හේතු කරුණු නිසි ලෙස වටහා ගැනීමයි. අතීතයට දෙස් දෙවොල් කීමෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. අතීතයේ සිදුවූ වැරදි යළි නොවීමට වගබලා ගතහොත් බංකොළොත් වූ රට ගොඩදා ගැනීමට බැරිකමක් නැත. ඒ අර්ථයෙන් ගත්විට ජනාධිපතිවරයාගේ කතාව සමග අප සියයට දෙසීයක් එකඟය.

නිදහසින් වසර 75ක් ගෙවී යන මේ මොහොත වනවිට අප රටට වඩා ආර්ථික තත්ත්වයෙන් ඉතාමත් අඩු මට්ටමක සිටි බොහෝ රටවල් අප අබිබවා ගොසිනි. එම රටවල් ගොඩගියේ සැලසුම්සහගතව ආර්ථිකය හැසුරූ නිසාවෙනි. දේශපාලනඥයාගේ සිට රජයේ ලිපිකරුවා දක්වා සියලුම නිලධාරීන් අවංකව රට ගැන සිතා වැඩ කළ නිසාවෙන් එම රටවලට ගොඩයෑමට හැකි විය. නමුත් අප රටේ දැනටමත් සිදුවන්නේ කුමක් ද? අප රටේ පරිපාලන ඒකකයේ කුඩාම ඒකකය වන පළාත් පාලන ආයතනයකට ගිය විටත් රස්තියාදු නොවී අදාළ රාජකාරිය කර ගැනීමට නොහැක. යම් රාජකාරියක් ඉක්මනට කරගැනීමට බොහෝ නිලධාරීන්ට අතයට ගනුදෙනුවක් දීමට සිදුවනු ඇත. අදාළ ගනුදෙනුව නොදෙන්නේ ජනතාව වටේ යවන හැටි මේ නිධාරීන් හොඳට ප්‍රගුණ කර ඇත.

පසුගිය කාලය පුරාවට ගත් විට බොහෝ අමාත්‍යාංශ සිය කාර්යක්‍ෂමතාව පෙන්වා දී නැත. අමාත්‍යාංශවල ව්‍යාපෘති සඳහා වෙන් කෙරුණු මුදල් පවා ආපසු හරවා මහා භාණ්ඩාගාරයට යන්නේ අකාර්යක්‍ෂම නිලධාරීන් නිසාවෙනි. ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා නිලධාරීන් ජනතාව නොතකා වැඩ කරන මෙම නරක පුරුද්ද නතර කිරීමට දැන්වත් පියවර ගත යුතුය. බොහෝ ආයතන, අමාත්‍යාංශ පාඩු ලබන්නේ ඒවා ලාභ ලබාගැනීමට හැකියාව තිබියදීය. සමහර නිලධාරීන් ආයතන ලාභ ලබන තත්ත්වයට පත් නොකළ ද ඉහළ වැටුප් ලබමින් තම උදර පෝෂණය කරන ආකාරය පසුගිය කාලය පුරාවට ම අපට දැකගත හැකි විය. අප රටට කිසිසේත් නොගැළපෙන මෙම අසංස්කෘතික ලක්‍ෂණ අප රටින් වහා බැහැර කිරීමට කාලය එළැඹ ඇත.

පසුගිය කාලයේ දී අප රටට සිදුවූ තවත් අපලයක් වූයේ විශාල කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීමට සිදුවීමයි. බලය රැක ගැනීම සඳහා වරප්‍රසාද වරදානවලට යටවූ මැති ඇමැතින් නඩත්තු කිරීම රටට බරක් විය. මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දීම සඳහා එකම විෂය පථය යටතේ ක්‍රියාත්මක විය යුතු ආයතන පවා කඩා වෙන්කර පාලනය කළ නරක පූර්වාදර්ශය අප රටේ අනන්තවත් තිබේ. දැනට පවතින අමාත්‍යාංශ 30 පමණක් එලෙසින්ම පවත්වාගෙන යෑමට ජනාධිපති කරන යෝජනාව ඉතා යහපත්ය. ඉතාමත් අමාරු කාලයේ දී ජනතාව පමණක් නොව දේශපාලනඥයන් ද කැපවීම් කළ යුතුය.

අප රට බංකොළොත් වීමට ප්‍රධාන කාරණයක් වූ වංචා දූෂණය පිළිබඳව සමාජයෙන් නැඟෙන හඬ අප කිසිසේත් අවතක්සේරු නොකළ යුතුය. වංචාව දූෂණය නතර කිරීමෙන් තොරව රටක් නොව කුඩා ආයතනයක් වුවද ඉදිරියට යන්නේ නැත. පසුගිය කාලයේ දී රට තුළ සිදුවූ වංචා දූෂණවලට දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද වගකිව යුතුය. දේශපාලනඥයන්ගේ ආශිර්වාදය නොමැතිව නිලධාරීන්ට ද නිලධාරීන්ගේ ආශිර්වාදය නොමැතිව දේශපාලනඥයාට වංචා දූෂණවලට යොමු විය නොහැකිය. පසුගිය කාලය පුරාවට මෙම මැච් එක ගැසුවේ මේ දෙගොල්ලන්ම එකතුවී බව රටට නොරහසකි. මෙම නරක පුරුද්ද නැති නොකළොත් අපට හෙට දවසක් නොමැත. දැනටමත් අප අපේ අනාගත පරපුරට හිමිකර දී ඇත්තේ ණය බරිත රාජ්‍යයකි. උපදින්න ඉන්න දරුවාත් ණයකරුවකු කර ඇති මෙම ක්‍රමය වහා වෙනස් කළ යුතුය. ඒ සඳහා පළමුව වෙනස් විය යුත්තේ රට භාරගන්නා දේශපාලනඥයන්ය. නිලධාරීන්ට ඉහළින් ඇති දේශපාලන භූමිකාව නිවැරැදි වුවහොත් යම්කිසි කාලරාමුවක් ඇතුළත අප රටට ගොඩඒමට පුළුවන. එම මහත්මා දේශපාලන භූමිකාවට පණ එනතුරු අපි බලා සිටින්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment