ඖෂධ නැතිව ජීවිත මරුකටට

398

වෛද්‍යවරු අනතුරු අඟවති

රජයේ රෝහල් සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයන්හි පවතින අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු ඖෂධ එකසිය හතළිහකට වැඩි ප‍්‍රමාණයක සහ ප‍්‍රතික‍්‍රියාකාරක, උපකරණ ඇතුළු පරිභෝජන ද්‍රව්‍යයන්හි ඇති බරපතළ හිඟය හේතුවෙන් රෝගී ජීවිත රැසක් අති අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ වාර්තා වෙයි.

මේ හේතුවෙන් රෝගී සත්කාර කිරීමට නොහැකිව ජීවිත රැසක් අකාලයේ අහිමි වීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි අදාළ අංශ නිසි බලධාරීන්ට දැනුම් දී ඇත.

මේ වන විට සාමාන්‍ය ශල්‍යකර්ම පවා සීමා කිරීමට පියවර ගෙන ඇති අතර ජීවිතයට තර්ජනයක් වන රෝගීන්ගේ සැත්කම්වලට අදාළව පවා ඇතැම් සැපයුම් සීමා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය මත සති කිහිපයක් ඇතුළත හෝ හදිසි සැපයුම් නැවත ලබාදීම සිදු නොවුණහොත් ව්‍යසනකාරී ලෙස රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් එය කොරෝනා, සුනාමි සහ සිවිල් යුද්ධයෙන් සිදුවූ සියලු මරණ සංඛ්‍යාවට වඩා වැඩි විය හැකි බවත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එසේම පවතින උග‍්‍ර ඖෂධ හිඟයට මුහුණ දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු යෝජනා පහක් ඉදිරිපත් කර ඇති අතර එහිදී හදිස්සි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් රටේ ප‍්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා ඇත. එසේම අනෙකුත් යෝජනා ලෙස අදාළ සියලු පාර්ශ්ව කැඳවා පවතින ඖෂධ හා උපකරණ තත්ත්වය සමාලෝචනය කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණික කමිටුවක් පිහිටුවා දැනට ඇති ඖෂධ මනාව කළමනාකරණය කර ගැනීම සඳහා මාර්ගෝපදේශන සැකසීම, ජාත්‍යන්තර සහය සහ විදේශගතව සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ සහයෝගය ඖෂධ හිඟයට මුහුණ දීමට ලබා ගැනීම සහ විදේශ ආධාර මත ලැබෙන ඖෂධවල ගුණාත්මකභාවය තහවුරු කරන ක‍්‍රමවේදයක් සැකසීම යන යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඉන්දියානු ණය ආධාර යටතේ ලැබීමට නියමිත ඖෂධ මෙරටට ලැබීම සඳහා යම් කාලයක් ගත වීමත් ඩොලර් අර්බුදය මත ඖෂධ ඇනවුම් නිසි ලෙස සිදු නොවීමත් ඖෂධ හිඟය අතිශය තීරණාත්මක තත්ත්වයක් කරා ගෙන ගොස් ඇතැයි සඳහන් වෙයි.

රෝගී ජීවිත සම්බන්ධයෙන් පවතින අවදානම් තත්ත්වය පිළිබඳව ඒ ඒ අංශ සෞඛ්‍ය ඇමැතිවරයා, රාජ්‍ය අමාත්‍යවරයා, එකී අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු වගකිව යුතු අය දැනුවත් කර ඇතත් පවතින ආර්ථික අර්බුදය මත ඖෂධ කඩිනමින් සපයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වෙයි.

හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන රුධිර කැටි දිය කිරීමට අවශ්‍යය streptokinase සහ tenecteplase ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබාදෙන amlodipine, enalapril, labetalol යන ඖෂධ, ජලභීතිකාව සඳහා ලබාදෙන ප‍්‍රති රේබීස් (anti-rabies injection) එන්නත්, ඉතා වැදගත් වේදනා නාශකයක් වන morphine ඖෂධය, වලිප්පු රෝගෙයට ලබාදෙන sodium valproate ඖෂධය, Cefuroxime, Ceftriaxone ඇතුළු බොහොමයක් ප‍්‍රතිජීවක (antibiotics) ඖෂධ දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට යොදාගන්නා glucometer strips ඖෂධය, දියවැඩියා රෝගීන්ට ලබාදෙන insulin එන්නත්, හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන IC tube/ Intercostal tube මුත‍්‍රා බට (urinary catheters), ශල්‍යකර්ම සඳහා භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ, උපකරණ, මැහුම් ද්‍රව්‍ය (suture material), ශල්‍ය සැරහුම් (Dressing material) ඇතුළු ඖෂධ සහ එන්නත් බොහොමයක බරපතළ හිඟතාවක් මෙසේ මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ සෞඛ්‍යයට ප‍්‍රමුඛතාවය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කිරීම මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතු වී ඇති බවයි.

‘‘පවතින ඖෂධ හිඟය ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශය ද තහවුරු කර තිබෙනවා. මෙම තත්ත්වය මත වෛද්‍යවරුන් ලෙස අපට රෝගීන්ට වගකිව නොහැකියි. මෙම තත්ත්වය ඇති වීමට මාස තුනකට පමණ පෙර අදාළ අංශ වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. නමුත් ඔවුන් එය සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දුන්නේ නැහැ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය සමග සාකච්ඡා කර කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් නැහැ, ඩොලර් නැහැ කියමින් කල් මරමින් රෝගී ජීවිතය නැති වෙන එක දෙන්න බැහැ’ යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා කීවේය.

සිරිමන්ත රත්නසේකර සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment