බාර්වලට ගිහින් සූර්වෙන්නේ ප්‍රවේසමෙන්! – සූර්වෙන අය සුද්ධ කරන අමුතු ගේමක්

873

නාඳුනන අය නොමිලේ දෙන මත්පැන් වීදුරුවට කෑදර වෙන්න එපා….

රට පුරාම මෙය ක්‍රියාත්මකයි!

සෙල්වා නඩරාජන් ජා-ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවු 48කි. තිදරු පියෙකි. කලක් ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගියේය. මත්පැන්වලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි ඔහුට එම හෝටලය නිසියාකාරව පවත්වාගෙන යෑමට නොහැකි විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ හෝටලය වසා දැමීමයි.

තම එකම ආදායම් මාර්ගය වූ හෝටලය වසා දැමූ පසු ඔහුට ජීවත් වීම සඳහා ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබුණි. එම නිසා ඔහු දස අතේ කල්පනා කළේ ජීවත් වීම සඳහා මුදල් සොයා ගන්නේ කෙලෙසද කියාය. ඒ අනුව දිනක් ඔහු මෙලෙස සිතුවේය.

“දැන් අතේ සල්ලිත් නැහැ. එන්න එන්නම ගෙදර ප්‍රශ්නත් වැඩියි. දරුවන්ට හරියට කන්න දෙන්න විදිහකුත් නැහැ. සල්ලි නැහැ කියලා ආයි හොටෙල් කරලා මැරෙන්න බැහැ. මේ වයසත් එක්ක ජොබ් එකකුත් කරන්න බැහැ. ඒක නිසා සල්ලි හොයාගන්න වෙන විදිහක් කල්පනා කරන්න ඕනා.”

“අයිස් කුඩු වැනි මත්ද්‍රව්‍ය විකුණන්නත් බැහැ. ඒවා විකුණලා අහු වුණොතින් මාස ගණනක් හිරේ ළගින්නත් වෙනවා. ග්‍රෑන්ඩ්පාස්වල මගේ යාළුවෙක් ඉන්නවා. මිනිහා ළඟ විසකුඩු තියෙනවා. ඒ විස කුඩු මිනිස්සුන්ට දුන්නහම සිහිය නැතිවෙනවා. ඒ හරහා ගේමක් ගහන්න පුළුවන් නම් කිසි කරදරයක් නැතුව හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මේකට කාව හරි සම්බන්ධ කර ගන්නත් ඕනා. සින්නයියා තමයි විශ්වාසවන්ත මිනිහා.”

සින්නයියා යනු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු හෑත්තැවකි. ලොන්ඩරියක සේවය කළ ඔහු සෙල්වාගේ මිතුරෙකි. සෙල්වා එම පුද්ගලයාව දැන හඳුනා ගන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලය පවත්වාගෙන ගිය කාලය තුළදීය.

දිනක් සෙල්වා සහ සින්නයියා මෙලෙස කතාබස් කළහ.

“මගේ හෝටලය වැහුවට පස්සෙ ආර්ථික අතින් මම ගොඩක් වැටිලා ඉන්නේ.”

“මමත් එහෙම තමයි. ලොන්ඩරියේ දැන් වැඩත් නැහැ හරියට.”

“ඒක තමයි. මේ රටේ තියෙන තත්වෙත් එක්ක ආයි බිස්නස් එකක් කරන්න හිතන්නවත් බැහැ.”

“ඒකනම් ඇත්ත සෙල්වා. සමහර දවස්වල හරියට කෑම වේලක්වත් කන්න විදිහක් නැහැ.”

“මටත් ඔය ප්‍රශ්න ටිකම තමයි තියෙන්නේ.”

“ඉතිං අපි මොකද කරන්නේ.”

“කරන්න නියම වැඩක් තියෙනවා. ඒක කියන්න තමයි මම කතා කළේ.”

“මොකක්ද අප්පා ඒ. දන්නවනේ මම ඕන දෙයකට එනවා.”

“මට මේ වැඩේට හොඳ විශ්වාසවන්ත කෙනෙක් ඕනා. ඒක නිසා තමයි මම උඹට කතා කළේ.”

“දන්නවනේ මගේ හැටි. බෙල්ල කැපුවත් මම පාවා දෙන්නේ නැහැ. මොකක්ද දැන් ඔය කරන්න හදන වැඩේ.”

“මගේ යාළුවෙක් ඉන්නවා ග්‍රෑන්ඩ්පාස්වල. මිනිහා ළඟ විස කුඩු තියනවා. ඒවා මිනිස්සුන්ට දුන්නාම සිහිය නැතිවෙනවා.”

“ඉතින්.”

“අපි ඒ කුඩු මිනිස්සුන්ට බොන්න දීලා උන්ව සුද්ද කරමු.”

“කොහොමද මිනිස්සුන්ට ඒවා දෙන්නේ.”

“හැම තැනදිම දෙන්න බැහැ. බාර් එකකදී තමයි දෙන්න ඕනා. ඒකට මගෙ ළඟ ප්ලෑන් එකක් තියෙනවා. ඉක්මනට ඇවිත් මාව හම්බවෙන්න.”

“මම හෙටම එන්නම්. අපි ඇවිත් ඉතුරු ටික කතා කරමු.”

පසු දිනම සින්නයියා සෙල්වා මුණ ගැසීමට පැමිණියේය. එහිදී සෙල්වා විස කුඩු ලබාදී මිනිසුන්ගෙන් මුදල් සහ වටිනා ද්‍රව්‍ය පැහැර ගන්නා ආකාරය ගැන විස්තර කළේය. ඉන් පසු දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සෙල්වාගේ මිතුරා මුණගැසීමට ගියේය. ඒ විසකුඩු ලබාගැනීම සඳහාය.

සෙල්වා එම පුද්ගලයාගෙන් විස කුඩු ග්‍රෑම් කිහිපයක් මිලදී ගත්තේය. එලෙස මිලදී ගත් පසු යළි නිවසට පැමිණි ඔවුහු තව මොනවාදෝ එකතු කරමින් ඒවා කුඩා පැකට් බවට පත්කර ගත්හ. අවසානයේ කුඩා පැකට් දෙකක් රැගෙන සවස හයට පමණ ඔවුහු නිවසින් පිටවූහ. එලෙස පැමිණි දෙදෙනා දෙමටගොඩ ප්‍රදේශයේ තැබෑරුමක් අසල නැවතී මෙලෙස කතාබස් කළහ.

“සින්නයියා හොඳට ඇහැගහගෙන හිටපන් තැබෑරුමට බොන්න යන අය ගැන.”

“හරි හරි මං බලාගෙන ඉන්නේ.”

“යමක් කමක් තියෙනවා වගේ පෙනෙන තනියෙන් යන කෙනෙක් කොහොම හරි හොයාගන්න ඕනා.”

“හරි හරි අපි බලමු.”

පැයක් පමණ ඔවුන් තැබෑරුම අසල එලෙස බලා සිටියේය. එහෙත් එවැනි පුද්ගලයකු පැමිණියේ නැත. අවසානයේ දෙදෙනා තැබෑරුම ඇතුළට යෑමට තීරණය කළහ. ඇතුළට ගිය දෙදෙනා මද වෙලාවක් ඇතුළත නිරීක්ෂණය කළහ. එහිදී එක් ස්ථානයක තනිවම මත්පැන් පානය කරමින් සිටින පුද්ගලයෙකු දුටුවේය.

“සින්නයියා අර ඉන්නේ අපි හොයන ජාතියෙ මිනිහෙක්. කොහොම හරි එතනට ගිහිල්ලා මිනිහා එක්ක බොන්න සෙට් වෙන්න ඕනා. ”

“හරි සෙල්වා අපි මිනිහා ළඟට යමු.”

එලෙස දෙදෙනා තනිව මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයා අසලට ගොස් මෙලෙස විමසූහ.

” සර් අපි පිට පළාතකින් ආවෙ. වැඩිය මේ පැත්ත ගැන දන්නේ නැහැ.පොඩ්ඩක් මෙතනින් වාඩි උනාට කමක් නැද්ද?”

“ප්‍රශ්නයක් නැහැ වාඩිවෙන්න. මම බීල ඉවරයි දැන්.”

“අපි නුවර ඉඳන් කොළඹ ආවේ ඥාතියකුගේ ගෙදර. ඉතින් පොඩ්ඩක් බොන්න එළියට ආවා.”

“ආ එහෙමද?”.

“ඔව්. සර් දැන්ම යන්න එපා අපේ ගාණේ ටිකක් බොමු.”

“බැහැ බැහැ… මම හොඳටම බීලා ඉන්නේ.”

“එහෙම කරන්න එපා අපි නරක මිනිස්සු නොවෙයි. ගම්වල හැදුණු වැඩුණු අය. අපි ආසයි සර් ඉන්නව නං ටිකක් වෙලා.”

“හරි හරි ඕගොල්ලො බල කරනවා නම් ටිකක් වෙලා ඉන්නම්.”

“අනේ ඒක ලොකු දෙයක්. අපේ ගාණේ සර් තව ටිකක් බොන්න ඕනා.”

ඒ අනුව සෙල්වා මත්පැන් බෝතලයක් ඇනවුම් කළේය. මත්පැන්වලට දැඩි කෑදරකමක් දැක්වූ එම පුද්ගලයා සෙල්වා සහ සින්නයියා සමඟ යළි මත්පැන් පානය කළේය. පැය බාගයක් පමණ විවිධ තොරතුරු කතා බහ කරමින් ඔවුන් තිදෙනා මත්පැන් පානය කළහ. ඒ අතරතුර සෙල්වා ආගන්තුක පුද්ගලයාගේ වීදුරුවට ඉතාමත් සූක්ෂම ලෙස ළඟ තිබූ විසකුඩු මුසු කළේය.

විසකුඩු මිශ්‍ර කළ මත්පැන් වීදුරුව පානය කළ පසු එම පුද්ගලයාට කරකැවිලි ගතියක් ඇති විය. ඒ සමගම ඔහු මේසය මත ඔළුව ගසා ගත්තේය. තප්පර කිහිපයක් මොන මොනවාදෝ මිමිණූ ඔහුට එක්වරම සිහි නැති විය. ඉන්පසු සෙල්වා සහ සින්නයියා අන් අයට නොපෙනෙන අයුරින් ඔහු ළඟ තිබූ මුදල් ඇතුළු සියලුම වටිනා දෑ සොරා ගෙන මත්පැන් පානය කළ බිලත් නොගෙවා හොර රහසේ මෙම ස්ථානයෙන් පැන ගත්හ.

එදින ඔවුන් එම පුද්ගලයාගේ පසුම්බියේ තිබූ රුපියල් අටදහසකට ආසන්න මුදලක්, ඔහුගේ අත පැළඳි ඔරලෝසුව සහ රන් මුදුව ද සොරා ගෙන නිවසට පැමිණියහ.

“සින්නයියා බලපන් මගේ අයිඩියා එක කොහොමද කියලා.”

“ඒකනෙ අපිට කිසිම ගේමක් නැතුව වැඩේ කරන්න පුළුවන් උනානේ.”

“ඒකනෙ කියන්නෙ. අපිට දැන් කිසිදු මහන්සියක් වෙන්නේ නැතිව මේ විදියට මුදල් හොයන්න පුළුවන්.”

“ඒක තමයි. අපි මේක දිගටම කරගෙන යමු.”

“හෙට උදේම ගිහිල්ලා ඔය මුද්ද

උගස් තියන්න ඕනා. පවුමකටත් වැඩියි වගේ හොඳ ගාණක් ගන්න පුළුවන්.”

“පවුමේ එවා නොවෙයි පවුම් තුන හතරේ ඒවා අපි හොයන්න ඕනා.”

“හරි හරි ටිකක් ඉවසගෙන හිටපන්.”

එතැන් සිට දෙදෙනාගේ රැකියාව වූයේ එයයි. සමහර දිනවල සෙල්වා තනියම පවා ගොස් මත්පැන් සමඟ විස කුඩු මිශ්‍රකර මිනිසුන්ට සුද්දය දුන්නේය. කලක් යද්දී මේ පිළිබඳව සෙල්වාගේ මිතුරන් කීපදෙනෙක්ද දැන ගත්තේය. එම මිතුරන්ද සෙල්වා

මුණගැසීමට පැමිණ ඔහුගෙන් මුදලට විසකුඩු ලබාගෙන මෙම වංචාව සිදුකර ගෙන ගියේය. කලක් යද්දී මේ පිළිබඳව කටින් කට ගොස් විශාල පිරිසක් සෙල්වා මුණගැසීමට පැමිණ විස කුඩු මිලදී ගත්තේය. ඒ හරහා ද සෙල්වා විශාල මුදලක් සෙව්වේය.

මාස කීපයක් ගත වූ පසු සෙල්වා ජාඇල ප්‍රදේශයේ තම ඥාති සහෝදරියකගේ ඉඩමක සින්නයියා ට නිවසක් සාදා ගැනීමට ද අවසර දුන්නේය. කලක් තිස්සේ මොවුන් දෙදෙනා එකතු වී මෙම වංචා සහගත ක්‍රියාවලිය දිගටම සිදුකරගෙන ගියේය. කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් නොව කොළඹින් පිට විවිධ පළාත්වලට පවා ගොස් කිසිදු බියක් සැකක් නොමැතිව මොවුන් මෙම වංචා සහගත ක්‍රියාව සිදු කළේය.

දැනට මාස කිහිපයකට ඉහතදී මොවුන් දෙදෙනා නුවර ප්‍රදේශයට පැමිණියේය. ඔවුන්ගේ අදහස වී තිබුණේ මාසයක් දෙකක් පමණ නුවර ප්‍රදේශය තුළ සැරිසරා එම ජාවාරම සිදු කරගෙන යෑමටයි. එලෙස පැමිණි ඔවුන් දෙදෙනා දිනක් කඩුගන්නාව ප්‍රදේශයෙන් රා පානය කර මාවනැල්ල ප්‍රදේශයට ගියහ. ඒ සල්ලි යහමින් ඇති මිනිසකු කොටු කර ගැනීමටයි.

මාවනැල්ල තැබෑරුමක් අසල ඇස ගසාගෙන සිටි ඔවුන් දෙදෙනාට ධර්මලිංගම් නමැති මිනිසකු සමග මිතුරු වීමට හැකි වූහ. ධර්මලිංගම් යනු මාවනැල්ල නිව් ලෑන්ඩ් වත්තේ පදිංචිව සිටි හැට හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කසාද දෙකක් කරගත් අයෙකි. පළමු කසාදයෙන් දරුවන් තිදෙනකුත් දෙවැනි කසාදයෙන් දරුවන් තිදෙනෙකුත් ඔහුට සිටියේය. එහෙත් ඔහු පළමු බිරිඳ අතහැර ජීවත් වූයේ දෙවැනි බිරිඳ සමඟයි.

පෙබරවාරි 26 ඔහුගේ දෙවැනි බිරිඳ ගේ උපන් දිනය යෙදී තිබුණි. එදින ඔහු බිරිඳ සහ දරුවන් තිදෙනා සමග මාවනැල්ල නගරයට ගොස් ඔවුන්ට ඇඳුම් පැළඳුම් කෑම බීම ආදිය මිලදී ගෙන දුන්නේය. ඉන්පසු ඔවුන් තිරෝද රථයක නංවා නිවස වෙත පිටත් කර යැව්වේය.

බිරිඳ සහ ළමයි එලෙස පිටත් කර යැවූ පසු ඔහු කෙලින්ම ගියේ තැබෑරුම වෙතයි. සෙල්වා සහ සින්නයියා ඔහුට මුණගැසෙන්නේ එම අවස්ථාව තුළදීය.

විනාඩි කිහිපයක් ඇතුළත ධර්මලිංගම් සමග ලොකු සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වූහ. ඒ සමග සෙල්වා, ධර්මලිංගම් මෙලෙස පැවැසුවේය.

“අයියේ මගේ ගාණෙ අරක්කු බෝතලයක් බොමු.”

“එපා එහෙම හරි නැහැනේ.”

“ඒක ප්‍රශ්නයක් නැහැ. අයියා දැක්ක ගමන් කියන්න පුළුවන් හොඳ පුද්ගලයෙක් කියලා.”

“නැහැ මමත් ගාණක් දෙන්නම්.”

“අයියගේ සතයක්වත් එපා අපිත් එක්ක බොන්න විතරක් එන්න.”

එලෙස පැවසූ සෙල්වා මත්පැන් බෝතලයක් මිලදී ගත්තේය. එලෙස මිලදී ගෙන යළි ධර්මලිංගම්ට මෙලෙස පැවසුවේය.

“අයියේ මෙතන බොන්න බැහැ. අපි නිදහස් තැනකට යමු.”

“කොහෙටද අපි යන්නේ.”

“මා ඔය තියෙන්නෙ මේ ළඟනේ. අපි එතනට ගිහිල්ලා බොමු.”

ධර්මලිංගම් ද එම යෝජනාවට කැමැති විය. ඉන් පසු තිදෙනා මා ඔය ගඩොල් පාලම යටට ගොස් මත්පැන් පානය කිරීමට පටන් ගත්හ. පැය බාගයක් පමණ ඔවුන් ආ ගිය තොරතුරු විමසමින් මත්පැන් පානය කළේය. ඒ අතරතුර සෙල්වා සුපුරුදු පරිදි ධර්මලිංගම්ගේ මත්පැන් වීදුරුව ට ඉතාමත් සූක්ෂම අයුරින් විස කුඩු එකතු කළේය.

ඒ කිසිත් නොදත් ධර්මලිංගම් එම මත්පැන් වීදුරුව ද එක හුස්මට පානය කළේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහු ගල් තලාව මත සිහිසුන්ව ඇද වැටුණේය. ඒ සමඟම ඔහු සන්තකයේ තිබූ මුදල් සෙල්වා ගත්තේය. එයට අමතරව ඔහුගේ පසුම්බියේ තිබූ බැංකු කාඩ්පත ද ඔහුට හසුවිය. එම බැංකු කාඩ්පතෙ රහස් අංකය ද එම පසුම්බිය තුළ තිබුණි.

බැංකු කාඩ් පත සමඟ රහස් අංකය තිබීම ඔවුන්ට සතුට දනවන කාරණයක් විය. අවශ්‍ය දෑ ගත් පසු සෙල්වා “අපි මෙතනින් ඉක්මනට යමු යැයි” සින්නයියා ට පැවසුවේය.

ඔවුන් එලෙස පිටත් වීමට සූදානම් වනවාත් සමගම අඩසිහියෙන් සිටි ධර්මලිංගම් අවදි වීමට උත්සාහ කළේය. එය දුටු සෙල්වා කලබල විය. වහාම ඔහුගේ අවසන් හුස්ම හෙළන තුරුම ධර්මලිංගම්ගේ ගෙල සිර කර ගෙන සිටියේය. විනාඩි කිහිපයක් ජීවිතය බේරා ගැනීම සඳහා ධර්මලිංගම් සටන් කළේ ය. එහෙත් පලක් වූයේ නැත. එලෙස ධර්මලිංගම් මරා දැමූ සෙල්වා සහ සින්නයියා එම ස්ථානයෙන් පිටව ගියහ.

එලෙස ගිය ඔහු පළමුව මාවනැල්ල නගරයේ තිබූ ඒටීඑම් යන්ත්‍රයක් වෙත ගොස් ධර්මලිංගම්ගේ බැංකු කාඩ්පතෙන් ලක්ෂ එකහමාරක මුදලක් ලබා ගත්තේය. එම මුදල්වලින් රුපියල් දහදාහක මුදලක් සින්නයියාට දුන්නේය. ඉන්පසු දෙදෙනාම නුවර බලා පිටත් විය.

නුවර නගරයේ දී තවත් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් පහළොස් දහසක මුදලක් සෙල්වා යළි ලබා ගත්තේය. එතැනින් නොනැවතුණු ඔහු රෙදි සාප්පුවකට ගොස් රුපියල් තිස් හතරදාහක පමණ ඇඳුම් සහ සුපිරි වෙළෙඳ සලකින් රුපියල් දහහත්දහසක පමණ ආහාර ද්‍රව්‍ය ද මිලදී ගත්තේය. ඉන් පසු දෙදෙනා බස් රථයකින් කොළඹ බලා පැමිණියහ.

කොළඹට පැමිණි සෙල්වා යළි මුදල් ලබා ගැනීමට උත්සාහ කළේය. එහෙත් එම ගිණුමේ මුදල් නොතිබුණි. ඉන්පසු ඔහු එම බැංකු කාඩ්පත අසල තිබූ තැපැල් පෙට්ටියකට දමා සින්නයියා සමග කිසිවක් සිදු නොවූ අයුරින් නිවෙස් බලා ගියහ.

රාත්‍රී එකොළහ පසුවීත් ධර්මලිංගම් නිවසට නො පැමිණීම නිසා ඔහුගේ දෙවන බිරිඳ සහ දරුවන් සිටියේ ඉමහත් චකිතයකිනි. ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර ඇත. වෙන කිසිම දිනෙක මෙසේ ප්‍රමාද වී නිවසට පැමිණ නොමැත. දන්නා කියන සෑම තැනකින්ම ඔහු ගැන විමසුවේය. එහෙත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔවුන් මාවනැල්ල පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළේය.

පසු දින ද ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැත. පොලිසියට ඔහු පිළිබඳව වැදගත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. ඒ අතර මා ඔය අසල මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට තොරතුරක් ලැබුණි. පොලිසිය වහාම ගොස් ඒ පිළිබඳව සොයා බැලුවේය. එහි දී දැනගන්නට ලැබුණේ එම සිරුර ධර්මලිංගම්ගේ බවයි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ එය මනුෂ්‍ය ඝාතනයක් බවයි. එහෙත් ඝාතකයන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි විය. පසුව පොලිසිය මාවනැල්ල නගරයේ සීසීටීවී කැමරා පරීක්ෂා කළේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ ධර්මලිංගම් තවත් පුද්ගලයන් දෙදෙනකු සමග මත්පැන් මිලදී ගන්නා ආකාරයයි. එහෙත් අනෙක් පුද්ගලයන් දෙදෙනා පිළිබඳ සොයා බැලුවත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට ඔවුනට නොහැකි විය.

එම ඝාතනය සිදු වී මාසයක් පමණ ගත විය. එහෙත් කිසිදු තොරතුරක් සොයාගැනීමට පොලීසියට නොහැකි විය. ඒ අතර කෑගල්ල පොලිසියට තවත් පැමිණිල්ලක් ලැබුණි. ඒ හිටපු බන්ධනාගාර නිලධාරියකුගෙනි.

ඔහු පොලිසියට පවසා තිබුණේ බස් නැවතුම්පොළ දී දැනගත් පුද්ගලයකු සමග මත්පැන් පානය කිරීමට ගොස් සුළු මොහොතකට පසු තමා සිහිසුන් වූ බවයි. ඉන් පැය භාගයකට පමණ පසු අසිහියෙන් මෙන් මහ පාරට පැමිණි ඔහු රෝහල්ගත වූ බවයි. පසුව දැන

ගන්නට ලැබුණේ ඔහුගේ රන් ආභරණ, මුදල් සහ ජංගම දුරකථනය මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයා රැගෙන ගොස් ඇති බවයි.

පොලිස් නිලධාරීහු එම සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වූහ. ඒ අනුව පැමිණිලිකරුගේ නැති වූ ජංගම දුරකථනය ඔස්සේ පරීක්ෂණ අරඹා එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර ද විසකුඩු ලබාදෙමින් මිනිසුන් සිහිසුන් කර මුදල් සහ රන් ආභරණ සොරාගෙන තිබුණි. ඒ පිළිබඳව පැමිණිලි කිහිපයක් විවිධ පොලිස් ස්ථානවල පවා තිබුණි.

පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් ධර්මලිංගම් ගේ ඝාතකයන් පිළිබඳව ද යම්කිසි තොරතුරක් මෙම සැකකරුගෙන් දැනගත හැකි යැයි සිතා සීසීටීවීවලින් ලබාගත් ඡායාරූප ඔහුට පෙන්නුවේය. එහිදී මෙම සැකකරු එහි සිටි එක් පුද්ගලයෙක් හඳුනාගත්තේය. ඒ අනුව ඔහු පැවසුවේ සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.

පොලිස් නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට මෙවැනි පැමිණිලි ලැබී ඇත්දැයි සොයා බැලුහ. එහි දී දැනගන්නට ලැබුණේ මෝදර පොලිසියට ද මෙවැනි ආකාරයේ පැමිණිල්ලක් ලැබී ඇති බවයි. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ට ධර්මලිංගම් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන සෙල්වා සහ සින්නයියා ජාඇල ඔහුගේ නිවසේදී ම අත්අඩංගුවට ගැනීමට හැකි විය. එලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් ධර්මලිංගම්ගේ ඝාතනය ඇතුළු සිදු කළ සියලුම අපරාධ පිළිබඳ තොරතුරු පැවසුවේය. එයට අමතරව සෙල්වා පැවසුවේ තවත් බොහෝ පිරිසකට සිහිසුන් වන විසකුඩු ඔහු මුදලට විකුණු බවයි.

ඒ අනුව පෙනී යන්නේ තැබෑරුම් අසලදී හෝ වෙනත් ස්ථානයක මිතුරු වී තමන් ගාණේ මත්පැන් පානය කිරීමට ආරාධනා කර විසකුඩු දමා පුද්ගලයන් සිහිසුන් කර ඔවුන්ගේ වටිනා දෑ සොරා ගැනීමේ කල්ලියක් බිහි වී ඇති බවයි. එබැවින් ඔබත් මත්පැන් පානය කරන අයකු නම් මෙවැනි පුද්ගලයන්ගෙන් ප්‍රවේශම්වීමට වගබලාගන්න.

● ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment