ලොව ප්‍රථම මැලේරියා එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

157

අප්‍රිකානු කලාපය තුළ වෙසෙන දරුවන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ලොව ප්‍රථම සාමාන්‍ය මැලේරියා එන්නත්කරණ වැඩසටහන පෙරේදා (22දා ) දිනයේ අප්‍රිකානු රාජ්‍යයක් වන කැමරුන් රාජ්‍යයෙන් පටන් ගැණුනු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම සාමාන්‍ය මැලේරියා එන්නත්කරණ වැඩසටහනේ ආරම්භය සංකේතවත් කරමින් කැමරුන් රාජ්‍යයේ යඋන්ඩේ අගනුවර පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානයකදී ඩෑනියෙලා නමැති දැරියට ප්‍රථම මැලේරියා එන්නත් මාත්‍රාව ලබා දී තිබේ.

සෑම වසරකදීම අප්‍රිකානු කලාපයේ හයලක්ෂයක් පමණ දෙනා මැලේරියා රෝගයට ගොදුරු වීමෙන් මිය යන බව අනාවරණය වී තිබේ. මෙම මරණවලින් සියයට 80ක්ම වයස අවුරුදු පහට අඩු ළමුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නව සාමාන්‍ය මැලේරියා එන්නත්කරණ වැඩසටහන යටතේ කැමරුන් රාජ්‍යය මාස හයක් දක්වා වයසැති සැම ළදරුවෙකුටම එම එන්නත් මේ යටතේ නොමිලයේ ලබා දෙන අතර එක් අයෙකුට ලබා දිය යුතු එම එන්නත් මාත්‍රා සංඛ්‍යාව හතරකි. කුඩා ළමුන්ට ලබා දෙන සෙසු ප්‍රතිශක්තිකරණ එන්නත් අතරතුර මැලේරියා එන්නත ද ලබා දීමට කැමරුන් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මෙම මැලේරියා එන්නත යොදාගෙන කෙන්යාව, ඝානාව හා මලාවි යන අප්‍රිකානු රටවල සිදු කළ නියමු එන්නත්කරණ වැඩසටහනකදී එම එන්නත හරහා මැලේරියාව හේතුවෙන් සිදු වන ළමා මරණ සංඛ්‍යාව සියයට 13කින් අඩු කරගත හැකි වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment