ගාසා තිරයේ පිපිරීමකින් ඊශ්‍රායල භටයන් 21ක් මරුට

352

මධ්‍යම ගාසා තීරයේ ඊශ්‍රායලයට අයත් කලාපයේ කඩා දැමීමට නියමිතව තිබූ ගොඩනැඟිලි දෙකකට පෙරේදා (22දා) සවස එල්ල වූ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් හේතුවෙන් එම ගොඩනැඟිලිවල සිටි ඊශ්‍රායල හමුදා භටයන් 21 දෙනෙකු මරුමුවට පත්ව තිබේ. අදාළ ගොඩනැඟිලිවලට එල්ල වූ ග්‍රෙනේඩ් ප්‍රහාරයන් හේතුවෙන් ඒවා කඩා දැමීම සඳහා අටවා තිබූ බෝම්බ පුපුරා යෑමෙන් ගොඩනැඟිලි විනාශ වී ගොස් ඒවායේ සිටි ඊශ්‍රායල හමුදා භටයන් මියගොස් ඇති බව ඊශ්‍රායල අරක්ෂක හමුදා පවසයි. මෙය ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ඊශ්‍රායලය විසින් සිය පාබල හමුදාව යැවීමෙන් පසු මියගිය වැඩිම ඊශ්‍රායල හමුදා භටයන් සංඛ්‍යාව බව ඊශ්‍රායලය පවසයි. මෙම ග්‍රෙනේඩ් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කුමන කණ්ඩායමක් විසින්ද යන්න පිළිබඳව වාර්තා වී නොමැති අතර ඉන් තවත් ගණනය නොකළ පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇති හමුදා භටයන් පිරිස ඉකුත් වසරේ ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට පහර දුන් අවස්ථාවේදී දකුණු ඊශ්‍රායලයේ පිහිටි නිවෙස්වලින් ඉවත් කෙරුණු දසදහස් සංඛ්‍යාවක ඊශ්‍රායල ජාතිකයන්ට නැවත සිය නිවෙස්වලට යෑමට උපකාර කරන මෙහෙයුමකට සම්බන්ධ වී සිට ඇති බව වාර්තා වී තිබේ.

මධ්‍යම ගාසා තීරයට එල්ල වූ මෙම ග්‍රෙනේඩ් ප්‍රහාරයෙන් මිය ගිය හමුදා භටයන්ගේ පවුල්වලට සමස්ත ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් සිය කනගාටුව පළ කර සිටින බව කලින් ට්විටර් යනුවෙන් සඳහන් කළ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් සඳහන් කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් හමුදා භටයන් 21 දෙනෙකුට මරු කැඳවූ ග්‍රෙනේඩ් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment