ලංකාදීප පත්තරේ වැඩ භාරගත්තෙ රුපියල් 100 පඩියට

181

එකට වැඩ කරපු සමකාලීනයන් අතරින් මේ වෙනකොට ජීවතුන් අතර ඉන්නෙ මම විතරයි…

ඒ කාලෙ දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල අපි වැඩ කරපු ටයිම්ස් බිල්ඩින් එක…

වනිතා විත්ති පත්තරේ ඡායාරූප පළ කරගන්න නළු නිළියො පොරකෑවා…

නාරිගම මුහුදු වෙරළෙ සංචාරකයො හෙලුවැල්ලෙන් කියලා ලිපියක් දාලා ජේ. ආර්. ජනාධිපති මාව කාර්යාලයට කැඳෙව්වා…

කළු ජූලිය අවස්ථාවේදී කඩ සාප්පු බිඳගෙන බඩු අරගෙන යනවා ඇස් දෙකෙන් දැක්කා…

දේවි බාලිකාවෙන් බිහි වෙච්ච ප්‍රථම මාධ්‍යවේදිනියත් මමයි…

“ශ්‍රියා රත්නකාර මහත්මිය ‘වනිතා විත්ති’ පුවත්පතෙන් ඉල්ලා අස්වීමත් සමඟ මට කර්තෘකම ලැබුණා. නොසිතූ මොහොතක ලැබුණු ඒ වගකීම විශාල අභියෝගයක් වුණා. ඒත් එම අභියෝගාත්මක ගමන යෑමට එවකට ඉරිදා ලංකාදීප පත්තරේ ‘ළපටි පෙළ පිටුව’ සංස්කරණය කළ සිරිපාල තිලකසේන විශාල ශක්තියක් වුණා. ඒ සමඟ නියෝජ්‍ය කර්තෘවරිය විදිහට ඊවා රණවීර වැඩ භාරගත්තා. සීතා අතුකෝරළත් ‘වනිතා විත්ති’ කර්තෘ මණ්ඩලයට එකතු වුණා. වනිතා විත්ති පත්තරේට අලුත් විශේෂාංගයක් විදිහට ‘ළපටි පෙළ’ නමින් පිටු දෙකක් පටන් ගත්තා. වැඩි දවසක් යන්න කලින් ඒ පිටු දෙක ළමයි අතර පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා…”

වසර තිහකට ආසන්න කාලයක් ‘වනිතා විත්ති’ කාන්තා පුවත්පතේ කර්තෘවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රා රණසිංහ පුවත්පත් කලාව තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කර ඇති කර්තෘවරියක් බව සැබෑය. පුංචි කාර්ය මණ්ඩලයකින් ලොකු වැඩක් කර ඇති කර්තෘවරියකි. එමෙන්ම ‘වනිතා විත්ති’ කාන්තා පුවත්පතේ කර්තෘ ධුරයේ කටයුතු කරන අතරේ ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරියක් ලෙස ද ඇය සේවය කර ඇත. දේශපාලන ඇම්බැට්ටයන්ට අතකොලු නොවී තම රාජකාරිය නිසියාකාරව ඉටු කිරීමේ සතුට අදට ද හදවත තුළ පවතින බව ඇය ආඩම්බරයෙන් අප සමඟ පැවසුවාය.

“ඒ කාලේ කොළඹ තිබුණු උසම ගොඩනැඟිල්ල ටයිම්ස් බිල්ඩින් එක. තට්ටු හතරයි. ලංකාවේ විතරක් නෙමෙයි දකුණු ආසියාවේම තිබුණු උස ගොඩනැඟිල්ල. දැන් කස්ටම් බිල්ඩින් එක තියෙන්නෙ එතැන තමයි. ටයිම්ස් ගොඩනැඟිල්ලෙ ඉහළ ම මහලට නැග්ගම මුළු කොළඹ ම පේනවා. උසම මහළට නැඟලා බිමට පැනලා කිහිපදෙනෙක් දිවි නසාගෙනත් තිබුණා. අපි වැඩ කරන බිල්ඩින් එක කොළඹ උසම ගොඩනැඟිල්ල නිසා දුවයි, පුතාලා දෙන්නයි පුංචි කාලෙ ඉඳලා ඔෆිස් එකට එන්න හරිම ආසයි. ඔෆිස් එකට යමු කිව්ව ම උඩ පැනගෙන එන්නෙ. ඒ පැමිණි අවස්ථාවල ලිපි සංස්කරණය කරන තැන ඉඳලා පත්තර පින්ට් කරන තැන දක්වා පුතාලාට පෙන්නලා තියෙනවා. ඒත් දරුවො තුන්දෙනාම පත්තර රස්සාව තෝරගත්තෙ නෑ. ඒ අය තාත්තගේ අඩි පාරෙ ගිහින් නීතිඥයින් වුණා. ඒකට ගොඩක් හේතු තිබුණා. දැන් වගේ ඉස්සර පත්තර කන්තෝරු දියුණු නෑ. කොම්පියුටර් නෑ. පත්තර අච්චු ගැහුවේ අකුරු අමුණලා. ඒ සන්දියේ පුවත්පත් මුද්‍රණාලයක් කියන්නෙ ෆැක්ට්‍රියක් වගෙයි. රැයක්, දහවලක් නැතිව වැඩ. අපිටත් නිවාඩුවක් කියලා නෑ. ඒත් හරිම විනෝදජනකයි. මම පත්තර රස්සාව තෝරගත්තෙ ඒ අද්දැකීම විඳින්නම හිතාගෙන…”

ලංකාදීප පත්තරේ වැඩ භාරගත්තෙ රුපියල් 100 පඩියට

“මම ලංකාදීප පත්තරේ කර්තෘ මණ්ඩලයට එකතු වුණේ රුපියල් 100 පඩියට. 150 වුණා. 200 වුණා. ටිකෙන් ටික පඩි වැඩි වුණා. ඒත් දැන් කර්තෘ කෙනෙකුට ලැබෙන පඩියක් අපිට ලැබුණේ නෑ. පුංචි පඩියක් වුණාට දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට ගැති නොවී, මිල මුදල්, වරදානවලට වහල් නොවී රාජකාරිය අකුරට කළා. ඒ සන්දියෙත් පාඨකයන් දේශපාලන කතාවලට කැමැති වුණේ නෑ. ඒ නිසා වනිතා විත්ති පත්තරේ දේශපාලන විත්ති පළ කිරීම ගොඩක්ම අඩු කළා. වනිතා විත්ති එක කලාපයක රුක්මණී දේවියගේ සින්දු විශාල ප්‍රමාණයක් දැම්මා. වාර්තාගත පත්තර ප්‍රමාණයක් අලෙවි වුණා. අපි නිතරම කටයුතු කළේ පාඨකයන්ට ඉගෙන ගන්න දෙයක් සහ විනෝද වෙන්න දෙයක් ඉදිරිපත් කරන්න. වනිතා විත්ති පත්තරය ජනාදරයට පත් වෙන්න ප්‍රධාන හේතුවත් ඒක තමයි. ඒ කාලේ අපේ පත්තරේ පින්තූර පළ කරගන්න නළු, නිළියන්ට පුදුම උනන්දුවක් තිබුණේ. ඒත් අපි පළ කළේ ජනප්‍රිය නළු, නිළියන්ගේ පින්තූර විතරයි. එක කලාපයක ගීතා කුමාරසිංහගේ ඉන්ටවීව් එකක් පළ කරලා ලොකු ගැටලුවක් වුණා. ඒ වගේ ප්‍රශ්න අනන්තවත් ආවා. ඒ හැම අවස්ථාවකම කතා කරල සත්‍ය අවබෝධ කර දීලා ගැටලු නිරාකරණය කරගෙන තියෙනවා…”

ලංකාදීප පත්තරේ වැඩ භාරගත්තෙ රුපියල් 100 පඩියට
ටයිම්ස් මැඳුරේ සිට බි්‍රස්ටල් වීදිය දෙස බලමින්

“සංචාරක කලාපයක් විදිහට පැවැති නාරිගම මුහුදු වෙරළෙ සුද්දො, සුද්දියො හෙලුවැල්ලෙන් ඉන්නවා කියලා විවේචනාත්මක ලිපියක් සහිත පින්තූර කිහිපයක් වනිතා විත්ති පත්තරේ පළ කළා. එම ලිපිය දැකලා එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්මයා උරණ වෙලා තිබුණා. ඔහුගේ ලේකම්වරයෙක් විදිහට හිටිය මැණික්දිවෙල මට කතා කරලා ජනාධිපති කාර්යාලයට එන්න කිව්වා. මගෙ හිතට ලොකු බයක් දැනුණා. ඒත් මම ගියා. ජනාධිපති කාර්යාලයේ කාමරයකට මාව එක්කරගෙන ගිහින් නිලධාරීන් කිහිපදෙනෙක් ඉදිරියේ ඒ ප්‍රවෘත්තිය ඇත්ත ද කියලා මගෙන් ඇහුවා. මම සාක්‍ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කළා. ‘ප්‍රසිද්ධියේ හෙලුවැල්ලෙන් මුහුදු වෙරළෙ සිටීම අසෝභනයි. ඒ වගේම මෙවැනි අසෝභන ක්‍රියා නිසා එම සංචාරක කලාපය ආශ්‍රිත තරුණ, තරුණියන්ගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඒක මේ රටට, සමාජයට කරන ලොකු වැරැද්දක්. ඒ අකටයුත්ත නතර කරන්න ඕන ඒ නිසා තමයි අපි මේ ලිපිය සහ පින්තූර පත්තරේ පළ කළේ. මම ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ…’ කියලා ඒ නිලධාරීන්ට තේරුම් කරලා දුන්නා. මගේ කතාව ඒ නිලධාරීනුත් පිළිගත්තා. නාරිගම වෙච්ච ඒ අසෝභන සිද්ධිය ගැන ඔවුන් දැනගෙන ඉඳල තිබුණෙත් නෑ. සිද්ධිය නිවැරැදිව දැන ගත්තට පස්සෙ ඔවුන් මට ස්තූති කළා. එදාම ක්‍රියාත්මක වෙලා නාරිගම මුහුදු වෙරළෙ අශෝභන විදිහට හැසිරීම තහනම් කරලා තිබුණා. රටක මාධ්‍යයට සමාජයක් සුදු කිරීමට වගේම කළු කරන්නත් පුළුවන්. එදා අපි සමාජයේ අයහපත් පැතිකඩ බයක් නැතිව හෙළිදරව් කළා. ඒත් 1983 අවුරුද්දෙ කළු ජූලියත් එක්ක මේ සමාජය ගැන මට ලොකු කලකිරීමක් ඇති වුණා…”

“පිටකොටුවේ කඩ සාප්පු ගිනි තියලා මහා විනාශයක් කරල තිබුණු ඒ දින කිහිපයේදී අපි ලංකාදීප කන්තෝරුවට ගියේ ගිනි ගොඩවල් උඩින් පැන, පැන. දෙමළ මිනිස්සුන්ගේ ගෙවල්, කඩ සාප්පු ගිනි බත් කරනවා දෑසින්ම දැක්කා. කන්තෝරු කාමරයේ කවුළුවෙන් එළිය බලනකොට පිරිසක් එළව, එළවා පහර දෙනවා දැක්කා. පහරකන මිනිස්සු සී, සී කඩ දිව්වා. ලතෝනි දෙනවා ඇහුණා. පුංචි දරුවො උස්සගෙන අම්මලා දුවනව දැක්කා. ඒවා බලාගෙන ඉන්නකොට මට කෑගැස්සිලා ඇඬුණා. අදටත් ඒ සිදුවීම් මතකයට නැගෙනවිට මට දරාගන්න බෑ…” ඇය පහළට මුහුණ හරවාගෙන නිහඬ විය.

ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් ඇති කරන ලද කළු ජූලිය හොරු, ස්ත්‍රී දූෂකයන් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගැනීමට මහා ගිනි ජාලාවක් බවට පත් කළ බව සැබෑය. ගින්න මැද හොරු කඩ, සාප්පු ගෙවල් සුද්ද කරමින් කර බැඳි මාල කඩන විට දූෂකයන් දෙමළ කාන්තාවන්ට හිරිහැර කළහ. පහත් ලිංගික ආශාවන් ඉටු කරගෙන ඒ මොහොතට සතුටු වූ කාලකණ්ණි හැරුණුකොට මහ කඩ සාප්පු කොල්ල කෑ ඇතැම් හොරු පසුකාලීනව කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සුපිරි ව්‍යාපාරිකයන් බවට පත් වූ බව ද සැබෑය. එහෙත් 1983 වර්ෂයේ පැවැති කළු ජූලිය මෙරට ගිනි ඇවිළවූ ජතිවාදී ගැටලු රාශියක මූලාරම්භය බව සැබෑය. සහෝදරත්වයෙන් ජීවත් වූ සමාජය බේද භින්න කළ මහා ඛේදවාචකය බව සැබෑය. තෙත් වූ දෑස් පිස දා ගත් චන්ද්‍රා රණසිංහයන් ජීවිතයේ සතුටු වූ සිද්ධීන් කිහිපයක් සිහිපත් කළාය.

“මාර්ෂල් ටිටෝගේ බිරිඳ ලංකාවට පැමිණි අවස්ථාවේදී සිරිමාවෝ අගමැතිනිය සමඟ මහිලා සමිතියේ සංවත්සරයකට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඉන්දිරා ගාන්ධි මෙරටට පැමිණි අවස්ථාවේදී ඇය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා. ඉන්දිරා ගාන්ධි සිංහල අච්චරු කන්න ප්‍රිය කරන බව එම සාකච්ඡාවේදී කිය වුණා. අපි ඒ කතාව පත්තරේ පළ කළා. ඒ කතාව කියවලා අපේ රටේ කාන්තාවන් ගොඩක් සතුටු වුණා. ඒ වගේම විලියම් ගොපල්ලව ජනාධිපති ධුරයට පත් වෙච්ච අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිහින් ප්‍රථම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ එතුමාගේ දියණිය වූ අයිරාංගනී ගොපල්ලව මෙනෙවිය ඒ කාලේ දේවි බාලිකාවේ මට උගන්නපු ගුරුවරියක් වූ නිසයි. මේ රටේ වගේම ලෝකෙ වැදගත් ප්‍රභූන් හමුවෙලා තියෙනවා. ඩී. බී. ධනපාල, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ධර්මසිරි ගමගේ, විමල් වීරසිංහ, ශ්‍රී නිශ්ශංක, පියල් වික්‍රමසිංහ, මහානාම දිසානායක, පෙරමුණේතිලක, සිරිපාල තිලකසේන, දීගොඩ පියදාස, ගුණදාස ලියනගේ, කරුණාසේන ජයලත් වගේ පුවත්පත් කලාවේ ප්‍රවීණයින්ගේ ගුරුහරුකම් ලබමින් ඔවුන් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් ලෙස මම සලකනවා. ඔවුන්ගෙන් ලැබුණු පන්නරයත් සමඟ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න මම ශක්තිමත් වුණා. ඇමෙරිකාවට ඇවිත් අවුරුදු පහක් කැලිපෝනියාවේ ප්‍රාථමික පාසලක ඉගැන්වීම් කළා. තවත් වසර පහක් එරට වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක කාලය ගත කළා. එහිදී අපේ රට, ජාතිය, සංස්කෘතිය හා ඉතිහාසය ගැන ඔවුන්ට අවබෝධ කර දුන්නා. මෙරට නැටුම්, ගැයුම් වැයුම් ඉදිරිපත් කරලා පෙන්නුවා. ඒ වගේම දේවි බාලිකාවේ ආදි ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ සංගමයක් ඇමෙරිකාවෙත් තියෙනවා. ඒ සංගමයේ පැරැණිතම සාමාජිකාව මමයි. දේවි බාලිකාවෙන් බිහි වෙච්ච ප්‍රථම මාධ්‍යවේදිනියත් මමයි…”

ලංකාදීප පත්තරේ වැඩ භාරගත්තෙ රුපියල් 100 පඩියට
දේවි බාලිකා විදුහලේ ආරම්භ විදුහල්පතිනි දොස්තර නිමලා ද සිල්වා සමග චන්ද්‍රා රණසිංහ

“ඒ වගේම මම ඇමෙරිකාවේ ජීවත් වුණාට හිත තියෙන්නෙ ලංකාවේ. මම ජීවත් වෙන්න කැමැති ම රට ලංකාව. ඒත් මගේ සහෝදර, සහෝදරියො හුඟදෙනෙක් ඉන්නෙ ඇමෙරිකාවේ. ලොකු පුතයි, දුවයි දෙන්නම ජීවත් වෙන්නෙත් ඇමෙරිකාවේ. ඒ නිසා තමයි මම ඇමෙරිකාවේ ජීවත් වෙන්නෙ. නැති නම් මේ රටට මම හරිම ආදරෙයි. ඒ වගේම අද ජනමාධ්‍ය නරා වළක් වෙලා. බොහෝමයක් මාධ්‍ය දේශපාලනඥයන්ට ගැතිවෙලා ඇත්ත වහනවා. බොරුව සමාජගත කරනවා. ඒක රටට කරන ද්‍රෝහීකමක්. ඇත්ත ඇති සැටියෙන් හෙළිදරව් කරලා යහපත් සමාජ මෙහෙවරක් කිරීම මාධ්‍යවේදීන්ගේ යුතුකමක්. එහෙම කළොත් ජීවිතයේ අන්තිම කාලේ මම වගේ සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නැති නම් මැරි, මැරි ජීවත් වෙන්න වෙනවා…”

1986 වර්ෂයේදී ටයිම්ස් ආයතනය වසා දැමිණි. අනතුරුව ලෝකය පුරා සංචාරය කරමින් නිදහසේ ජීවත් වූ චන්ද්‍රා රණසිංහයන් ඇමෙරිකාවේ පදිංචියට ගොස් ඇත්තේ 2000 වර්ෂයේදීය. එරට ජීවත්වන කාලයේදී ද මෙරට පුවත්පත්වලට ලිපි සම්පාදනය කර ඇති ඇය වයස අවුරුදු 70 දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට ද ලිපියක් ලියා ඇත.

බැරැක් ඔබාමා එරට ජනාධිපති ධුරයෙන් සමුගෙන ඇමෙරිකානු ජනතාව අමතා කළ අවසාන අනුවේදනීය කතාව පාදක කරගෙන පිටු දෙකකින් යුක්ත දීර්ඝ ලිපියක් චන්ද්‍රා රණසිංහ විසින් ඔබාමාට යවා තිබිණි. එම ලිපියට පිළිතුරු ලිපියක් එවීමට තරම් බැරැක් ඔබාමා ද නිහතමානී වී තිබිණි. ඇයගේ ඇස් පෙනීමේ දුර්වලතාව නිසා මේ වෙනකොට ලිපි ලිවීමට හෝ කියැවීමට නොහැකි ය. එහෙත් දියණියට හෝ මුණුපුරු, මිණිපිරියන් ලවා ලිපි කියවාගෙන රසවිඳීම ඇය විනෝදාංශයක් කරගෙන සිටිති. ඇමෙරිකාවේ ජීවත් වුවද හිමිදිරි පාන්දර ලංකාවේ පත්තරවල විස්තර අහන්න රූපවාහිනිය ළඟට පැමිණීම පුරුද්දක් කරගෙන සිටින බව අපට පැවසුවේ ඇයගේ එකම දියණිය ජිනාදරීය. මෙරට ජීවත්වන අයට වඩා ඇමෙරිකාවේ ජීවත්වන චන්ද්‍රා රණසිංහ ලංකාවේ වෙන දේවල් ගැන දැනුවත් බව ද ඇය අපට පැවසුවාය.

“රූපවාහිනිය නරඹමින් ඉන්න ගමන් අම්ම මට කියනවා ‘ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න තිරිගු පිටි, පරිප්පු ටිකක් හරි යවමු…’ කියලා..” දියණියගේ කතාවට චන්ද්‍රා රණසිංහයන් ද කොක් හඬලා සිනාසුණාය. එමෙන්ම චන්ද්‍රා රණසිංහයන් සමඟ එකට වැඩ කරපු සමකාලීනයන් අතර මේ වෙනකොට ජීවතුන් අතර සිටිනුයේ ඇය පමණක් බව ද වාර්තා වේ. එහෙයින් ඇය පත්තර කලාවේ පුරාවස්තුවකි. එම කෞතුක වස්තුව රැකබලාගැනීමට ඇයගේ දරුවන් තිදෙනා ඇප කැප වී සිටිති. එහෙත් වයස වේගයෙන් ගෙවී යන්නේය. ඇයට දැන් අවුරුදු අනූවකට ආසන්නය. තව නොබෝ දිනකින් ඇමෙරිකාවට පිටත්ව යන ඇයට නැවත මෙරට ට පැමිණ මෙවැනි සුහද සාකච්ඡාවක් පැවැත්වීමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි එම සොඳුරු මිනිසුන්ගෙන් සමුගැනීමට සූදානම් වීමු.

“එහෙම යන්න බෑ… අපි සිංදුවක් කියලා ටිකක් විනෝද වෙලා යමු…” චන්ද්‍රා රණසිංහයන්ගේ ඒ වචනවලට අපි පුදුම නොවෙමු. හෝරා දෙකකට ආසන්න කාලයක් සුහද කතාබහක නිරතව සිටි අපට ඇය සතුටින් සිටීමට දැඩි සේ කැමැත්තක් දක්වන බව වැටහිණි.

“අම්මා ලංකාවට ආපු සෑම අවස්ථාවකම එයත් එක්ක වැඩ කරපු අය, ඒ අයගේ දරුවන්ට අපේ ගෙදරට එන්න කියලා පාටියක් දෙනවා. මේ පාර පාටියට අම්මගේ සමකාලීනයන් කවුරුවත් ආවේ නෑ. සේරම ආවේ ඔවුන්ගේ දරුවො…” නීතිඥ චන්න රණසිංහ ද කතාවට එකතු විය. තවත් අඩ හෝරාවක් පමණ චන්ද්‍රා රණසිංහයන් සමඟ ‘අතීත විත්ති’ කතා කරමින් සතුටු සාමිච්චියක යෙදුණු අපි ඇයගෙන් සමුගත්තෙමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment