පිටරට අශ්වයෝ ලංකාවේ කෑම කනවානම් අපේ කෑම දීලා අපේ අශ්වයෝ හදන්න බැරි ඇයි…?

351

2018 දී මිලියනයකට ආනයනය කළ අශ්වයෙක් අද මිලියන හතරකට වැඩියි

අද කෘත්‍රිම සිංචන අශ්වයෙක් ලක්ෂ අටකට දෙන්න පුළුවන්……

බිඳවැටුණ රේස් කෝස් එක ගොඩගත්තේ උපාලි විජයවර්ධනගේ අශ්වයෝ දාලා…

මගේ එකම සිහිනය ලංකාවට අනන්‍ය වූ අශ්ව පැටවෙක් බිහිකිරීමයි…..

උපාලි විජයවර්ධන මහත්තයාගේ ජවසම්පන්න අශ්වයෝ හතර දෙනෙක් හිටියා. ප්‍රින්ස් ඔෆ් සූලූ,
කොන්වොල් ගාර්ඩ්න්, යන්ග් මිලියන්, කැන්ඩොස්

එංගලන්තෙන් එහෙමත් නැත්නම් බි්‍රතාන්‍යයෙන් ලංකාවට ආපු අශ්වයන්ට මේ වෙනකොට ලංකාවේ කෑම කන්නත් හුරු වෙන්න වෙලා… මිනිස්සුන්ට විතරක් නෙමෙයි අශ්වයාටත් ලංකාවේ මේ වන විට පවතින උද්ධමනය විනිමය අනුපාත ප්‍රශ්න ආර්ථික අර්බුදය ආහාර හිඟය මේ සියල්ලක්ම අත්විඳින්න සිද්ධ වෙලා. අශ්වයන්ගෙ පෝෂණ ගුණය වගේම ශක්තිය ඉහළ නංවන ආනයනික ආහාර රටට ගේන්නට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වෙලා. එහෙයින්ම අශ්වයනුත් මේ කාලේ කන්නේ දේශීය ආහාර… ආරංචි විදියට කවුපි මුංඇට මෙනේරි වගේ දේවල්.

පිටරටින් ගෙනාපු අශ්වයෝ ලංකාවේ කෑම කාලා ශක්තිමත් වෙනවා නම්, ලංකාව තුළම අශ්වයන් බෝ කරල ලංකාවේ කෑම දෙන්න බැරි ඇයි කියන ප්‍රශ්නය දැන් අපිට එනවා… මොකද මේ වන විට උපාලි විජයවර්ධන මහත්තයාගේ අශ්ව ගාලේ අශ්වයන්ගෙන් බෝ කරපු අශ්වයෝ විසිපහක් තිහක් ම ලංකාව පුරා ඉන්න බව අපි දන්න නිසා.

මොනව කතා කරන්න ගියත් ඉතිහාසය අමතක කරන්න බැහැ… අශ්වයෙකුගේ කුර ගැටෙන හඬ එකවරම කනට වැටෙද්දී, හිත අතීතයට දුවනවා. සීනුවක් වගේ උල් තොප්පි දා ගත්ත පපුවේ හරහාට පටි බැඳ ගත්ත සොල්දාදුවෝ අශ්වයන්ගේ පිටේ නැගලා එහෙ මෙහෙ සැරිසරන්න ඇති කියලා අපේ හිතේ මැවෙනවා. බි්‍රතාන්‍ය රාජ්‍ය සමයේ ලංකාවේ සැරිසරපු අශ්ව රැල හුදෙක්ම එකතු වුණේ ආරක්ෂක අංශත් එක්ක. ඒ ඇරුණාම අශ්ව රේස් කියන සංකල්පය නුවරඑළිය ප්‍රධාන කරගෙන රටේ තවත් කීප තැනක පැවතුනේ බි්‍රතාන්‍ය ජාතිකයන් ලංකාවට දීපු දායාදයක් විදිහට.

ඒ තත්ත්වය ක්‍රමිකවම විකාශනය වෙලා මේ වෙනකොට අශ්වයෝ ඉන්නේ සංදර්ශන පවත්වන්න විතරක් වගේ. අදටත් රටේ නායකත්වයේ අභිමානය ජාතික උත්සවවලදී මිනිස්සුන්ගෙ හිතට කාවද්දන්නේ අශ්වයන්ගේ ගැටෙන හඬින්…

මේ විදිහට සංදර්ශන පවත්වන්න ශ්‍රී ලංකාවේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට අශ්වයින් හයසියයක් විතර පිටරටින් ගෙනැවිත් තිබුණා. ඒ අතරින් අශ්වයන් අසූවක් විතර දැනට ඉතිරි වෙලා ඉන්නවා. ඒ අතරිනුත් පහුගිය මාස පහ හයක් ඇතුළත අශ්වයන් දොළොස් දෙනෙක් විතර මියගිය බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ අශ්වයන්ගේ අලුත්ම දේශීය කෑම රටාව ඒ සත්තුන්ට හරියට ඔරොත්තු නොදීම මත මෙලෙස මිය ගිය බවටත් රාවයක් පැතිර යනවා. රටේ ඩොලර් නැතිව’ අශ්වයන්ට කෑම ආනයනය කරන්න බැරි වෙන තැනටම ආවට පස්සේ දේශීය ආහාර හුරු කරන්න ගිහාම සිද්ධවෙන්නේ ඔය ටික තමයි. දේශීය ආහාරවලට විදේශීය සත්ත්වයකු හුරු කරනවා නම් ඒක ක්‍රමිකව සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව එකවරම සතාට දේශීය ආහාර හුරු කරන්න ගියාම අන්තිමට සතාට සිද්ධවෙන්නේ ජීවිතෙන් සමු ගන්න. ඒකත් හරියට එක රැයකින් ගොවිතැනට කාබනික පොහොර හඳුන්වලා දුන්න වගේ වැඩක් තමයි.

අපට මතක ඇති කාලේ තුරඟ තරග නුවරඑළිය පැවැත්වුණේ බොහොම අභිමානයෙන්. එක්දහස් නවසිය හැට හැත්තෑ ගණන්වල තුරඟ තරග එහෙමත් නැත්නම් horse race කියන්නේ ලංකාවේ ධනවත් පැලැන්තියේ පිරිස් බොහොම උජාරුවෙන් සහභාගි වුණු තරගාවලියක්. ඒ විතරක් නෙමේ රේස් කෝස් එකේ තමන්ට අශ්වයෙක් ඉන්නවා කියන එක ඊටත් වැඩි අභිමානයක්.

එක්දහස් නවසිය හැටේ දි විතරයි රේස් කෝස් එක කඩාගෙන වැටුනා. ඒ ඒ කාලේ පැවති විවිධ ප්‍රශ්නත් එක්ක. මේ වෙනකොට උපාලි විජයවර්ධන මහත්තයා රටේ බොහොම ප්‍රබල චරිතයක් ඔහු ළඟ ඒ වන විට අශ්වයන් හතර දෙනෙක් හිටියා. නමින් මතක් කළොත් Prince of zulu, Kornwall garden, young million සහ kandos. මේ අශ්වය හතරදෙනා එක්ක උපාලි විජයවර්ධන මහත්තයා ආයෙත් racecourse එක පටන් ගත්තා. වාර්ෂිකව තුරඟ තරග පැවැත්තුවා. racecourse එක වැටුන කාලේ ඒ පරිසරය බලා ගත්ත තරුණ පිරිමි ළමයි ටිකක් හිටියා. මේ ළමයින්ට පෝනියෝ රැලකුත් හිටියා. උපාලි විජයවර්ධන මහත්තයා racecourse එක පටන් ගත්තහම මේ ළමයි හිතුවේ පෝනියෝ තියාගන්න තැනක් නැති වෙයි කියලා උපාලි විජයවර්ධන මහත්තයා මොකද කළේ මේ ළමයින්ට කිව්වා අශ්වයෝ පදින්නේ නැති දවස් වලට ඔය ළමයි පෝනියෝ ටික දාලා රේස් කෝස් එකේ පාළුව නැති කරන්න කියලා. ඒ කාලේ උපාලි විජයවර්ධන මහත්තයා නුවරඑළිය ගියෙ හෙළිකොප්ටරේ ඈතින් හෙලිකොප්ටරේ එනකොට මේ ළමයි පුදුම සතුටකින් උපාලි මහත්තයා එනවා කියලා කෑ ගහන්න පුරුදුවෙලා හිටියා. එදා එහෙම පෝනියො පැදලා සතුටු වෙච්ච ළමයි අද ඩුබායි නෙදර්ලන්තය වගේ රටවල රේස් කෝස් වල වැඩ කරනවා.

ඒ කාලෙදිම තමයි ගාමිණී ජයරත්න, සුරංජිත් ප්‍රේමදාස, අණුක රාමනායක, රන්ජන් සෙල්වම් මුත්තු සහ සිරිමෙවන් සේනානායක මගේ කට්ටියම එකතුවෙලා ඉන්දියාවෙන් අශ්වයො ගෙනැල්ලා රේස් කෝස් එකේ රේස් පැද්දේ. දැන් මේ වෙනකොට නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් නුවරඑළියේ රේස් කෝස් එකේ ආධිපත්‍ය පතුරුවාගෙන ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. ඒකත් දේශපාලන සහයෝගය මත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සහයෝගය ඇතිව පල්ලෙකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානයේ දී කෘතිම සිංචනය කිරීම මගින් සමන්තා කියලා අශ්ව පැටියෙක් බිහිවූ තොරතුරු ඉරිදා දිවයින අපි දැනට අවුරුදු තුනකට කලින් ගෙන ආවා ඔබට මතක ඇති. මේ කාර්යය සිද්ධ වුණේ පාලිත සමරකෝන් මහතාගේ පූර්ණ මෙහෙයවීම මත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩ්‍රා මහාචාර්ය පුෂ්පකුමාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික පෙරේරා වෛද්‍ය නිශාන්තන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ඊට දායක වූ බව ගෞරවයෙන් සිහිකළ යුතුමයි.

එදා කෘතිම සිංචනයෙන් බිහි වුණ සමන්තා වෙළඹ අද ගැබ්ගත් වෙළඹක්. ඇය ඒරියස් නමැති තරෝබි්‍රඩ් වර්ගයේ අරාබි අශ්වයකු සමග ස්වාභාවික එකතුවීමකින් ගැබ්ගෙන. දැන් සමන්තා වෙළඹ පාලිත සමරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පල්ලේකැලේ ජීවත් වෙනවා.

පාලිත සමරකෝන් මහතා කියන්නේ අශ්වයන් සමග අතීත සබැඳියාවක් පවත්වාගෙන යන කෙනෙක්. ඔහු වයස අවරුදු හයේ හතේ පටන් පෝනියෝ පාලනය කළ කෙනෙක්. ඔහු මහනුවර වැසියෙක්. අශ්වයෝ ගැන පුංචි කාලේ ඉඳලාම ආසාවක් තිබුණ නිසාම ඔහු නුවරඑළිය ගාල්ල සහ කොළඹ අශ්ව රේස් බලන්න වරද්දන්නෙ නැතිව ගිහින් තියෙන්නේ පුරුද්දක් විදිහට. ඔහු ඊශ්‍රායලයේ දි උපාධියක් ලබාගෙන නැවත ලංකාවට ආ හැටියෙම තරුණ ජවයෙන් සත්ත්ව පාලනය ට අදාළ ආයතන රැසකම සේවය කර තිබෙනවා. මිල්කෝ සමාගමේ උපසභාපතිවරයා ලෙස, නෙස්ලේ සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කර පසුව මහවැලි අධිකාරියේ සත්ත්ව පාලන අංශය ආරම්භ කරන්නට මග තැනුවේ ඔහුයි. එතැන් සිට ඔහුගේ ගමන් මග සත්ත්ව පාලනය සමග අදටත් ඉදිරියට එනවා.

මේ ගැන වැඩි විස්තර සමගම අපට කියන්නේ, පල්ලේකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානයේ පාලිත සමරකෝන් මහතායි.

මම සතුන්ට බොහොම කැමතියි. ඒ අතරිනුත් අශ්වයන් ගැන තියෙන්නේ අසීමිත ආදරයක්. මම තමයි උපාලි විජයවර්ධන මහත්තයාගෙන් අශ්වයෝ ගත්තේ. ඒක හරිම අපූරු කතාවක්.

පිටරට අශ්වයෝ ලංකාවේ කෑම කනවානම් අපේ කෑම දීලා අපේ අශ්වයෝ හදන්න බැරි ඇයි…?

1983 උපාලි විජයවර්ධන මහත්තයා අතුරුදන් වුණාට පස්සේ මට වුවමනා වුණා එතුමා ළඟ හිටි අශ්වයින් දොළොස් දෙනාගෙන් එක්කෙනෙක් ගන්න. ඒ වෙන විට මම සත්ව පාලනය හා වන වගා සම්බන්ධයෙන් මහවැලියේ වැඩ කරනවා. රොහාන් දිසානායක මහත්තයත් ඒ වෙනකොට මහවැලි එච්. කලාපයේ කටයුතු කරනවා. ඔහු ගාමිණි දිසානායක මහත්තයාගේ ඥාතියෙක්. මං රොහාන් දිසානායක මහත්තයාට කිව්වා, මට උපාලි විජයවර්ධන මහත්තයාගේ අශ්ව ගාලෙන් අශ්වයෙක් අරන් දෙන්න කියලා. අපි රත්වත්ත මහත්තයව මුණගැහිලා මේ ගැන කතා කරා සීවලී රත්වත්තේ මහත්තයා බොහොම නිහතමානී පුද්ගලයෙක්. ඔහු මගෙන් අශ්වයින්ට කැමති ඇයි වගේ විස්තර ගොඩක් ඇහුවා… ඉන්පස්සෙ මට අර අශ්වයෝ දොළොස් දෙනාම අරගෙන යන්න කියලා සීවලී රත්වත්තේ මහත්තයා කිව්වා.

ඇත්තටම කියනවා නම් මගේ කකුල් දෙකත් එක්ක පණ නැති වෙලා ගියා මොකද අශ්වයො දොළොස් දෙනකුට කන්න දෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

ඉන්පස්සෙ මම මේ ගැන ගාමිණි දිසානායක මහත්තයත් එක්ක කතා කරා. ගාමිණී දිසානායක මහත්තයා මේ වැඩේට බොහොම කැමති වුණා එතැනදීම කිව්වා අශ්වයන් දොළොස්දෙනෙක් මහවැලියට ගන්න අවශ්‍ය කරන ලියුමක් හදන්න කියලා. ඒ අනුව මහවැලියේ අශ්ව අභිජනන මධ්‍යස්ථානයක් හදමු කියලා ගාමිණි දිසානායක මහත්තයා යෝජනා කරා. ඒක ව්‍යාපෘතියක් විදියට මම කොළේක ලිව්වා ලංකාවේ අශ්වයන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා කියන යෝජනාව ආවෙ එතනින්.

මේ යෝජනාව සහිත ලිවුම කේ එන්. ජි කේ. පණ්ඩිතරත්න මහත්තයට බාර දුන්නා. ඔහු තමයි එවකට හිටපු ලේකම්වරයා. මුදල් සමග මේ යෝජනාව අනුමත කරලා ඔහු කිව්වා මේ ව්‍යාපෘතිය කලාවැව ඉඩමේ ආරම්භ කරන්න කියලා… අන්න එතැනින් තමයි ලංකාවේ අශ්ව අභිජනන මධ්‍යස්ථාන ආරම්භය පටන් ගත්තේ.

අශ්වයෙකුගේ උස පළල මනින්නේ අතේ මිම්මෙන්. හොඳ ශක්තිමත් විශාල අශ්වයෙක් අතේ මිම්මෙන් අත් පහළොවකට වැඩියි. නමුත් ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් ගේන අශ්වයෝ අත් පහළොවේ සීමාවේ ඉන්නවා. ඒ අය ලංකාවේ පරිසරයට ගැළපෙනවා.

ලංකාවට වැඩි වශයෙන්ම ගෙනැවිත් තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ අශ්වයින්. මේ සත්තු ඉක්මනින් ලංකාවේ ආහාර රටාවටත් පරිසරයටත් මිනිසුන්ටත් අනුගත වෙනවා. එය ඔවුන් කාලාන්තරයක් පවත්වාගෙන යන්න බෙහෙවින් උපකාර වෙනවා.

මේ අභිජනන මධ්‍යස්ථානයේ උපාලි විජයවර්ධන මහත්තයාගේ අශ්ව ගාලෙහි අමල් නමැති වෙළඹ ට පොලිසියෙන් ගත්ත සිඩ්නි අශ්වයා සම්බන්ධ කරලා අශ්ව පැටියෙක් හදන්න අභිජනන මධ්‍යස්ථානයේ දී පුළුවන් වුණා මේ සිටින කියන අශ්වයා එක්ලක්ෂ පනස් දහසක් වියදම් කරලා පොලිසියෙන් ලබාගත් තත්ත්වයේ වූ වයස අවුරුදු දහ අටක් වෙනකොට පැටව් හය දෙනෙක් බෝ කරපු අශ්වයෙක්.

සිංගප්පූරුවේ රේස් පැදලා පැදලා එංගලන්ත හරහා තමයි ලංකාවේ පොලිසියට සිඩ්නි ව හම්බ වුණේ.

අත් පහළොවකට වඩා විශාල අශ්වයෝ අපිට හිටියා හිටියා. ඉන්දියාව නෙදර්ලන්තය වගේ රටවල ඉන්නේ විශාල අශ්වයා ඒ අය අපිට ගෙනාවම නඩත්තු කිරීමත් පහසු නැහැ. ඒ සත්වයන්ට වුවමනා කරන්නේ ඒ විදේශීය කෑමම තමයි. ඔස්ට්‍රේලියාවෙන් ගේන අශ්වයන්ට එහෙම වෙන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාවට හරිම ඉක්මනින් අනුගත වෙනවා. අභිජනන මධ්‍යස්ථානය ආරම්භ කළ කාලේ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය ප්‍රංශයෙන් Alfronse කියන අශ්වයා ගෙනාවා. එයා හරි විශාල අශ්වයෙක්. warm blood වර්ගයේ. මේ සඳහා හරිම ජව සම්පන්නයි ඒ වගේම තමයි කෑම බීමත් මහා විශාල ලෙස වුවමනා කරනවා.

අශ්වයන්ගේ වර්ග ගොඩක් තියෙනව. warm blood, shayar tharowbreed ආදී වර්ග අනුව අශ්වයාගේ වර්ධනය ගති ලක්ෂණ කෑම බීම වෙනස් වෙනා ලංකාවේ ඉන්නේ ඝර්ම කලාපීය මිනිස්සු අපිට ගැළපෙන්නෙ තරොබි්‍රඩ් වර්ගයේ අශ්වයො.

ඉඩදෙන්න හිතේ ලංකා දැනට අවුරුදු 50 කට වැඩි කාලයක් තිස්සේ මම සත්ත්ව පාලනයට යොමු වෙලා. අපිට ලංකාවේ බෝ කරන්න වුවමනා කරන සම්පත් සියල්ල තියෙනවා මේකට සුදුසුම ප්‍රදේශයත් මධ්‍යම පළාතේ මහනුවර.

මොකද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තුළ දැනුම බුද්ධිය හොඳ හැටි තියෙන පශු වෛද්‍යවරු විශේෂඥ ආචාර්ය මහාචාර්යවරු අවශ්‍ය ප්‍රමාණයට ඉන්නවා ඒ වගේම කාලගුණයත් ඊටම සරිලන ලෙස පවතිනවා අක්කර දහයක භූමියකින් ඉතා හොඳ අශ්ව අභිජනන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න පුළුවන්. මුල ඉඳලාම අශ්වයන්ට ප්‍රෝටීන පිෂ්ටය යකඩ බහුල ආහාර ලබාදීමෙන් ජවසම්පන්න අශ්වයෙක්.

පිටරට අශ්වයෝ ලංකාවේ කෑම කනවානම් අපේ කෑම දීලා අපේ අශ්වයෝ හදන්න බැරි ඇයි…?
පාලිත සමරකෝන්

අංගසම්පූර්ණ දේශීය ආහාර වේලක් විදිහට සොයා බඩ ඉරිඟු රතු නිවුඩු හාල් තවත් විටමින් වර්ග කිහිපයක් අඩංගු ආහාර වේලක් දෙන්න අපට පුළුවන් මේ තත්ත්වය කුඩා කාලයේ ඉඳලම අශ්වයන්ට පුරුදු පුහුණු කළ යුතුයි. විදේශිය කෑම හුරුවුණා අශ්වයකුට මේ වගේ දේශීය ආහාර වේලක් එකවර දෙන්න බැහැ.

අශ්වයෙක් කියන්නේ හොඳ වාහනයක් වගේ. වාහනයක් වුණත් එක දෙක තුන හතර කියලා පියවර කීපයකින් තමයි ඉදිරියට ඇදෙන්නේ අශ්වයකුත් එහෙමයි. සතාගෙ ගමන් විලාශය පියවර 5 කින් තමයි තීරණය වෙන්නේ. රේස් පදින අය මේ ගැන ඉතා හොඳින් දන්නවා.

මගේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකාවටම ආවේණික වූ අශ්ව පැටියකු බිහි කිරීමයි ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වෙන විට සකස් කරලයි තියෙන්නේ මා ළඟ ඉන්නවා පරම්පරා අටක් පරණ සත්තු ඒ අතරෙන් දැන් නව වැනි පරම්පරාවේ පැටියෙක් බිහි වෙන්නයි සූදානම. මේ පරම්පරා අත අපි දෙන්න මධ්‍යස්ථානය හරහා ලංකාවට දායාද කරන්න මට වසර 25ක් ගත වුණා. ඒ මහන්සිය අපතේ ගියේ නෑ දැන් ලංකාවටම ඒ දායාදේ හිමි වෙන්න ළඟයි.

ඇත්තටම දැන් ලංකාවට අශ්වයො ගේන්න වුවමනා නෑ. අපිට පුළුවන් ලංකාවේ තැන් කිහිපයකම අශ්ව අභිජනන මධ්‍යස්ථාන පිහිටු වන්න. පශු වෛද්‍ය ක්ෂේත්‍රය ග්‍රාමීය මට්ටමෙන් දැන් කඩා වැටිල තියෙන්නෙ බොහොමයක් තරුණ පශුවෛද්‍යවරුන් සත්තු අතගන්න කැමති නැහැ බෙහෙත් විදින්න කැමති නැහැ. තුවාල සුද්ද කරන්නත් කැමති නැහැ. අනිත් කාරණාව සතෙකුට අසනීපයි කියලා කතා කළහම එන්න විදිහක් නැහැ කියනවා වාහනේ කැඩිලා තියෙනවා පෙට්‍රල් ඩීසල් නෑ කියනවා.

ඒ විදිහට වූ පසු වෛද්‍ය ක්ෂේත්‍රය පොදු ජනතාව අතර ප්‍රචලිත කරන්න බැහැ.

අවශ්‍ය වෙන්නේ ඉතා හොඳ නායකත්වයක් විතරයි හොඳ නායකත්වයක් තිබුණොත් මේ ක්ෂේත්‍ර ඉහළට ගන්නේ ඒ හැටි අමාරු නැහැ අතරමගදී නොගැළපෙන දේවල් කරලා මේවා විනාශ කර ගන්නවට වඩා හොඳම දේ තමයි මුල ඉඳලම පැහැදිලි සැලසුමක් යටතේ අශ්වයන් අභිජනනය කිරීමේ සිට ඉදිරියට පවත්වාගෙන යෑම මම හිතනවා ඉදිරියේදීවත් මේ තත්ත්වය ඇති කරන්න.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment