පිහියෙන් ඇන අනියම් බිරිය මරා කොස්තාපල් පළා ගිහින්

129

මොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර වෙහෙරගල හංදිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා වන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වැඳිකුඹුර වෙහෙරගල හංදිය පදිංචි කේ.එම්. දයාවතී (45) නමැති දෙදරු මවකි.

මොනරාගල පොලිස් ස්ථානයේ සේවය කළ බදුල්ල ප්‍රදේශයේ පදිංචිය පොලිස් කොස්තාපල්වරයා ඇය සමඟ වසර පහළොවක පමණ කාලයක් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

ඇය පළමු විවාහයෙන් වෙන්වූ කාන්තාවකි.

පොලිස් කොස්තාපල්වරයා දැනට නවගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතර තම අනියම් බිරිය බැලීම සඳහා පැමිණ දෙදෙනා අතර බහින්බස්වීමක් ඇතිවී ඇයගේ නිවසේ තිබූ පිහියකින් පිටට සහ පපුවට ඇන ඇති අතර නිවස ඉදිරිපිට මිදුලේ වැටී අධික රුධිර වහනය වීමෙන් ඇය

මියගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පිට සහකාර පොලිස් අධිකාරී (ii) එස්.පී.කේ. ගාල්ලගේ මහතාගේ මෙහෙයවීම යටතේ මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස්. චාමින්ද සංජීව මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment