දුෂාන් ජිප්සීස් හැර යයි – අලුත්ම බෑන්ඩ් එක ලුණු දෙහි

188

සන්ෂයින් ඉන්නකොටයි සුනිල් අයියා මාව දැක්කේ

ජිප්සීස් සංගීත කණ්ඩායමේ කී බෝඩ් වාදන ශිල්පියා ලෙස කටයුතු කළ දුෂාන් ජයතිලක මේ වන විට එම කණ්ඩායම හැර ගිහින් අලුත්ම සංගීත කණ්ඩායමක් ආරම්භ කරලා. මේ සංගීත කණ්ඩායමේ නම ජිප්සීස් සංගීත කණ්ඩායමේ ගීතයක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ ‘ලුණු දෙහි. නමින්. දුෂාන් ජිප්සීස් හැර ගිහින් ලුණ දෙහි නිර්මාණය කළේ ඇයි. ඒ ප්‍රශ්නෙට උත්තරය මේ කතා බහ තුළින් විමසා බලන්න.

● දුෂාන්” ඇයි මේ ලුණු දෙහි කියල අලුත් සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේ?

ජිප්සීස් සංගීත කණ්ඩායහේ කී බෝඩ් වාදන ශිල්පියා හැටියට මම අවුරුදු 19ක් ප්ලේ කළා. සුනිල් අයියා නැති වුණාට පස්සෙත් අවුරුද්දක් විතර වැඩ කළා. අන්තිම අවුරුද්දේ අපි ජිප්සීස් බෑන්ඩ් එකට නලීන් සමන්ත කියන ශිල්පියාව සම්බන්ධ කරගන්නවා. අපි දෙන්නා එකතු වෙලා තමයි ලුණු දෙහි බෑන්ඩ් එක පටන් ගන්නෙ.

දුෂාන් ජිප්සීස් හැර යයි - අලුත්ම බෑන්ඩ් එක ලුණු දෙහි

● ජීප්සීස් සම්පූර්ණයෙන් අත්හැරියාද?

ඔව්” මම දැන් ජිප්සීස් බෑන්ඩ් එකේ ප්ලේ කරන්නේ නැහැ. පියල් අයියට කියලමයි ඉවත් වුණේ.

● ජිප්සීස්ලගෙන් ඉවත්වීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?

ඇත්තටම මම ගොඩක් දේවල් ඉගෙනගත්තෙ එතැනින්. 2003 වසරේ අන්තිම කාලයේ තමයි මම ජිප්සීස් එක්ක සම්බන්ධ වෙන්නෙ. එතනදි ලංකාවේ කිසිම වාදකයකුට ගන්න බැරි විදිහේ අත්දැකීම් ටිකක් ලබා ගන්න මට අවස්ථාව ලැබෙනවා. ලෝකය වටේ ප්‍රසංගවලට සහභාගි වෙන්නත් අවස්ථාව ලැබෙනව. ඉතිං ඒ වගේ තැනකින් ඉවත්වීම දුකයි. සුනිල් අයියා හැමදාම කියපු දෙයක් තමයි කවදා හරි තමන්ගේම දෙයක් කරගන්න කියන එක. ඒ නිසාම තමයි ‘මල් ඔසරිය.” ‘මතකයන් තියන්. වගේ ගීත ඇතුළත්ව ගීත එකතුවක් කරන්න සූදානම් වුණේ. ඒකට සුනිල් අයියා මට නිදහස දුන්නා.

● සුනිල් අයියාත් එක්ක ගත කළ කාලය මොන වගේද?

සුනිල් අයියා ගොඩක් වෙලාවට සමාජ සේවය බොහෝ දෙනකුට උදව් උපකාර කරන කෙනෙක්. මම මහන්සි වෙලා වැඩ කළ එක ගැන ඔහු ගොඩක් වෙලාවට අගය කළා. ජිප්සීස් කණ්ඩායමේ බොහොමයක් ගීත වලට තනු නිර්මාණයෙන් පවා මම දායක වුණා. ඔහු එක්ක වැඩ කළ කාලය නැවත කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ.

● ඔබේ ඉවත්වීම ගැන පියල් මොකද කිව්වේ?

පියල් අයියගේ ගෙදරටම ගිහින් තමයි මම ඉවත් වන බව කිව්වෙ. ඔහු ඒ වෙලාවෙ කිව්වෙ ඔයාගෙම වැඩක් කරගන්න නම් ඉවත් වෙන්නෙ ඒකට කමක් නැහැ කියල. ලුණු දෙහි කියන නමට පවා පියල් අයිය නියම නමක් කියල.

● ජිප්සීස්ලාගේ හිට්ම සින්දුවක් තමයි ලුණු දෙහි. ඒ නම ඔබේ බෑන්ඩ් එකට යොදනව?

නීත්‍යනුකූල වරදක් ඇතිද කියල හොයල බලල තමයි මේ නම යෙදුවෙ. පියල් අයියා වුණත් විරුද්ධ වුණේ නැහැ. නමුත් පිටින් දැකල බය වුණ අය හිටියා. මගේ බිරිඳ තමයි මේ නම යෝජනා කළේ.

● අලුත් බෑන්ඩ් එකට ලැබෙන ආරාධනා කොහොමද?

අපේ ගමන ආරම්භ කළේ භාතිය සන්තුෂ්ලාගේ පොළොන්නරුවේ ප්‍රසංගයත් සමගයි. මේ මාසයේ 10 වැනිදා ඔවුන් කොළඹ පවත්වන ප්‍රසංගයත් අපි ප්ලේ කරනවා. ඇත්තටම මේ මාස හය ඇතුළත අපිට ප්‍රසංග ලැබුණා. වෙන බෑන්ඩ් පටන් අරගෙන නැගිට්ටාට කලින් අපි නැගිට්ටා කියන සතුට තිබෙනවා. මම මේ වැඩේට සුනිල් අයියාගේ සමහර මාර්කටින් ක්‍රම පාවිච්චි කළා.

● ලුණු දෙහි” ජිප්සීස් කොපියක්ද?

අනේ නැහැ. ලුණු දෙහි ජිප්සීස් කොපියක් නෙවෙයි. සුනිල් අයියා බෑන්ඩ් එකක් කරපු විදිහ විතරක් මම අනුගමනය කරනවා. එපමණයි. නමුත් මම ජීප්සීස් බෑන්ඩ් එකේ ප්ලේ කරපු නිසා ඒ කලර් එක මගේ අතින් එන්න පුළුවන්.

● ලුණු දෙහි සාමාජිකයන්?

මම සහ නලීන් තමයි මෙහි නායකත්වය දරන්නෙ. බේස් ගිටාර් කෙමී ඔසන්” ඩ්‍රම්ස් නදීශාන් කරුණාරත්න” කාන්තා ගායිකාව සිරස වොයිස් වැඩසටහනේ තරග කළ ටීජේ” රන්දුණු කියල තවත් සාමාජිකයෙක් ඉන්නවා.

● භාතිය වරක් කියනවා ඔහු බෑන්ඩ් එකක් හදනවා නම් මුලින්ම සම්බන්ධ කරගන්නෙ ඔබව කියල?

භාතිය සංතුෂ්ලාගෙ පටිගත කිරීම්වලට මම 2004 වසරේ සිට දායක වෙලා තියෙනවා. භාතියලගේ ‘හිත නාඹර තාලෙට. ගීතයේ මියුසික් ඇරේන්ජ්මන්ට්වලට මම දායක වෙලා තියෙනවා. ලස්සන දෑසක්” ඔයා මගෙ නම්” රාග තාල මුල්ම ගීතයට වගේම මා හඬවලා ගීතයටත් දායක වුණා. ඒ වගේම භාතියලගේ ගීත ගොඩකට කී බෝඩ් වාදනයෙන් මම දායක වෙලා තියෙනවා. ඒවාත් එක්ක වෙන්න ඇති භාතිය එහෙම කියන්න ඇත්තෙ.

● ජිප්සීස්ලට සම්බන්ධ වෙන්න කලින්ද භාතියල එක්ක සම්බන්ධ වුණේ?

නැහැ. නැහැ. මම ජිප්සීස් බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නෙ 2003 වසරේදිනෙ. ඊ කලින් සන්ෂයින් බෑන්ඩ් එකත් එක්ක වැඩ කළා. ඒ 2000 වසරේ සිට 2003 වසර දක්වා. භාතියල එක්ක සම්බන්ධ වෙන්නෙ 2004 වසර අග හෝ 2005 වසරේදි. සුනිල් අයිය මට නිදහස දීල තිබුණ නිසයි එහෙම කරන්න පුළුවන් වුණේ.

● ඔබ මුලින්ම සංගීතයට සම්බන්ධ වෙන්නෙ?

1996 වසරේදී සල්සා නමින් මගේම බෑන්ඩ් එකක් තිබුණා. 1997 වසරේදී ග්‍රේෂන් ජයමහගෙ යාත්‍රා බෑන්ඩ් එකත් එක්ක කෙටි කාලයක් කටයුතු කළා. සන්ෂයින් බෑන්ඩ් එකේ ලාල් අයියත් එක්ක ඉන්න කාලෙ තමයි සුනිල් අයිය මාව දැකල ජිප්සීස් බෑන්ඩ් එකට සම්බන්ධ කරගන්නෙ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment