77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!

218

ඉංජිනේරුවෝ 19ක මාසෙක වැටුප් ගෙවන්න මිලියන 600ක්

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා දැනටමත් චීන ඉංජිනේරුවන් 77 දෙනකු සේවයේ යෙදී සිටියදී මාසයකට රුපියල් මිලියන හයසීය හැටකට අධික වැටුප් ගෙවමින් අලුතින් චීන ඉංජිනේරුවන් දහනවදෙනකු බඳවා ගැනීමට ලංවිම කටයුතු ආරම්භ කර ඇතැයි ලංවිම ඉංජිනේරුවරු පවසති.

මෙම බලාගාරය ඉදිකිරීමේ දී තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට බඳවාගත් ඉංජිනේරුවන් දිගින් දිගටම රඳවා ගනිමින් චීන ඉංජිනේරුවන් 77 දෙනාට මාස හයකට වරක් ඇමරිකානු ඩොලර් මිලියන තුනකට අධික මුදල් ප්‍රමාණයක් වැය කරන්නේ නීතිපති උපදෙස් ද ලබා නොගෙන යැයි ලංවිම ඉංජිනේරුවරු සඳහන් කරති.

අලුතින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට බඳවා ගැනීමට යන චීන ඉංජිනේරුවකුට දිනකට ඇමෙරිකානු ඩොලර් පන්සීයකට අධික මුදලක් ගෙවිය යුතුව ඇතැයි ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අදාළ පත්‍රිකාවේ සඳහන් කර ඇත.

මේ වන විට සමනල වැව් බැම්මේ සිදුරු හතක් වසා දමා වසරකට රුපියල් බිලියන දෙකක් (කෝටි දෙසීයක්) ඉතිරි කරගන්නට උත්සාහ කරන අතරතුර නීතිපති උපදෙස් ද නොතකා හරිමින් චීන ඉංජිනේරුවන් දහනවදෙනකු මාස හයක කාලයකට බඳවා ගන්නට යන්නේ සුදුසුකම් සපිරූ පළපුරුදු තාක්ෂණික හා යාන්ත්‍රික ඉංජිනේරුවන් දෙසීයක් පමණ සිටියදී වීම විශේෂත්වක් යැයි ඉංජිනේරුවරු කියති.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ඉදිකිරීමේ දී තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට එක් කරගත් චීන ඉංජිනේරුවන්ගේ දායකත්වය 2014.03.20 වැනිදා අවසන් කළයුතුව තිබුණත් ඩොලර්වලින් වැටුප් ගෙවමින් චීන ඉංජිනේරුවන් හැත්තෑහත් දෙනකු දිගින් දිගට ම සේවයේ යොදවා තිබීම පිළිබඳව ඉංජිනේරුවන් ලෙස කටයුතු කරන තමන්ට ද ලජ්ජාවට කාරණයකැයි ඉංජිනේරුවරු වැඩිදුරටත් කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment