සියවස් ආයු ඉක්ම වූ සුමඟුල් මෑණියෝ – ආදි සිසුවකුගේ අවලෝකනය

114

මාතර අධ්‍යාපන කලාපයට අයත්, රදම්පොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය 2023 වසරේ, තම 113 වැනි ජන්ම දිනය සමරන්නීය. එයට සමගාමීව, සැප්තැම්බර් 9 වැනි දින දිවයිනේ සිව්දිගින් පැමිණීමට නියමිත දහස් සංඛ්‍යාත සුමඟුල් දූ-පුතුන්ගේ ආදි සිසු දිනය නිමිත්තෙනි, මෙම සටහන ඔබ දෙනෙතට ලක්වන්නේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ගම්මාන කීපයෙන් එක් ගම්මානයක් වන්නේ උප ගම්මාන 18 ක් පිරිවැරූ ඌරුගමුව ග්‍රාමයයි. මාතර දිසාවේ දකුණ – නැගෙනහිර මායිම්බදව ගිරුවාපත්තුවට ද සීමා මායිම් වූ ඌරුගමුව ශ්‍රී ලංකාවේ ඉපැරණි ග්‍රාම නාමාවලියේ ද සඳහන්, ඓතිහාසික පසුබිමකින් ද පොහොසත් මහා ග්‍රාමයකි.

පෙර සඳහන් පරිද්දෙන්ම කුඩා රාජධානියක් බඳු වූ ඌරුගම් පුරවරයේ කේන්ද්‍රය වූයේ රදම්පොල උප ග්‍රාමයයි. මේ ඓතිහාසික ගම්වරයේ සැබෑ මධ්‍ය ලක්ෂ්‍යය වූයේ රදම්පොල ශ්‍රී නාගවනාරාම සහ වේහැල්ල වේළුවනාරාම පිං බිම් බව සඳහන් කිරීම කිසිසේත්ම අතිශෝක්තියක් නොවන්නේය. අන් වැදගත් සියල්ලේ මෙන්ම, අපේ වස්තු විෂය වන ශ්‍රී සුමංගල මැදි මහ විදුහලේ ද උත්පත්තිය සිදුවන්නේ මෙකී නාගවනාරාම පිං බිමේය. ඒ අදින් වසර 113 කට පෙර එනම්, 1910 ජූලි මස 15 වැනිදාය. කීර්තිමත් සඟ පරපුරක එවක නියමුවාණන් වූ පූජ්‍ය බඹරැන්දේ ශ්‍රී සුමංගල රතනජෝති නාහිමියන් මෙම අභියෝග පිරිපුන් වෑයමට ද පුරෝගාමී විය.

යටත්විජිත යුගයේ, අධිරාජිනියගේ බල පරාක්‍රමය නොතකා කිරුළේ ආශිර්වාදය නොමැතිව ඇරඹෙන ක්‍රියාවක් පවත්වාගෙන යෑම කොතරම් අභියෝග සම්පන්න ද යන්නත්, කොතරම් බැරෑරුම් ද යන්නත්, යටත් විජිත ඉතිහාසය යන්තමින් ස්පර්ෂ කළ අයෙකු වුව, මැනවින් තේරුම් ගනු ඇත.

එහෙත්, කොතරම් තර්ජන ගර්ජන හා බාධක මධ්‍යයේ වුව ද, තම අරමුණ ජයගෙන මිස නතර කළේ අප නාහිමියන් නොවේ………….

එලෙස සිසුන් තිස්දෙනකුගෙන් යුතුව ඥානෝදය බොදු පාසල නමින්, පන්සලේ බණ මඩුවේ ඇරඹි කුඩා තක්සලාව පසු කලෙක තම ආදි කර්තෘන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් පිදුම් ලද්දාය.

1912 වසරේ ආධාර ලබන බොදු පාසලක් වශයෙන් ද 1962 වසරේ රාජ්‍යයේ පූර්ණ රැකවරණය ලබන රජයේ පාසලක් වශයෙන් ද, තම ගව් කණු පසු කළ සුමංගල මාතාව 1962 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවටත්, 1991 වසරේදී මධ්‍ය මහා විද්‍යාලයක් බවටත්, රූපාන්තරණය වූයේ දහසක් බාධක මැද වුවද, විදුහල් ප්‍රජාවේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම නිසා බව ඔවුන් සියල්ලන්ටම ගරු බුහුමන් පිණිස මෙහි සටහන් තැබීම අත්‍යවශ්‍යය ය. ඉන් එක් යුගයකට නායකත්වය සැපයූවේ සී. අලහප්පෙරුම මා පියාණන් වීම, පෞද්ගලිකවම මා වින්දනය කරනා සාඩම්බර හැඟීමකි.

වසර 113 ක විද්‍යාලයීය ඉතිහාසයේ, ප්‍රථම වතාවට කාන්තා පෞරුෂත්වයක, සෙනෙහස විඳිනා මේ යුගයේ, වඩාත් අවබෝධාත්මක කැපවීමකින් යුතුව, සුමංගල මාතාව දැයේ බබලවන්නට, විදුහල්පතිනි චම්පිකා යාපා මැතිනිය ප්‍රමුඛ වූ ඇදුරු මඬුල්ල, දෙමාපිය දූ දරු ප්‍රජාවට හා ආදි සිසු කැලට අවැසි ශක්තිය ධෛර්යය සහ නිවැරදි චින්තනය ප්‍රාර්ථනා කිරීමට, මෙය ඉතා සුදුසු හෝරාවයි.

සුමඟුල් මෑණියන්ගේ අවිච්ඡින්න පැවැත්මේ තවත් එක් අනුස්මරණීය කඩඉමක් වූ මාගේ සහ කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ යෝජනාවට අනුව ජාතික පාසලක් බවට ප්‍රකාශ වූ මොහොතේ දහසක් ජාතික පාසල් සංකල්පය හඳුන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දායක වන්නට හැකිවීම මා ලද සුවිසල් භාග්‍යයක් සේ සළකා නිහතමානීව, ආඩම්බරකාරී වන්නෙමි. එමෙන්ම ලාංකීය පාසල් විෂය මාලාවට 2012 වසරේදී තාක්ෂණ විෂය ධාරාව හඳුන්වාදුන් මොහොතේ ම එහි උසස් වූ ආනුභාවයන් විදුහලට සමීප කරන්නට හැකි වීම ආදී සිසුවකු වූ මාගේ නිහතමානී ආඩම්බරයට හේතු වේ.

අව්‍යාජත්වයේ ද සරල ග්‍රාමීත්වයේ ද අක්-මුල් සිඳ නොගත් ඓතිහාසික ඌරුගමුව ගම්මානයේ සුවිසල් ඥාන භාණ්ඩාගාරය වූ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය තවත් සියවස් ගණනාවක ඇවෑමෙන් වුව විරාජමානව පවතිනු දැක්මේ සාමුහික ප්‍රාර්ථනාවේ සාමාජිකයකු වන්නට මට අවසර දෙන්න.

මවගේ සුරත දරා ගනිමින් සුමඟුල් තක්සලා බිමට මා පියවර නැගුවේ, වසර තුනක් තරම් කෙටි කාලයක් වුවද, සුමඟුල් ආදි සිසුවකු වීමේ ගෞරවයේ හිමිකාරිත්වයට, එය බාධාවක් වෙතැයි මම කිසිදා නොසිතන්නෙමි.

ඩලස් අලහප්පෙරුම
පාර්ලිමේන්තු මන්ත්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment