ඊශ්‍රායල් බස සිංහලට මංගලගේ ග්‍රන්ථය එළිදකී

102

හෙබ්‍රෙව් භාෂාව බටහිර සෙමිටික භාෂාවකි. එය ඊශ්‍රායල් ජාතිකයින් ගේ භාෂාව ලෙස ඉතිහාසය පුරා හඳුන්වා දී ඇත. හෙබ්‍රෙව් බසින් ලියවුණු මුල්ම ලේඛනය ක්‍රිස්තු පූර්ව දසවන සියවස තරම් පැරණිය. අද වන විට හෙබ්‍රෙව් භාෂාව ලොව පුරා මිලියන නවයකට ආසන්න ජනතාවක් විසින් භාවිත කරයි.

වර්තමානයේ දී විදේශ ශ්‍රමිකයින් සඳහා විශාල රැකියා ප්‍රමාණයක් හා මැදපෙරදිග රටවල් අතුරින් ශ්‍රමිකයින් සඳහා වැඩිම වැටුපක් හා දීමනා ලබාදෙන එකම රට ලෙස ඊශ්‍රායලය ඉදිරියෙන් සිටී. ඊශ්‍රායලය වෙත දිනෙන් දින පැමිණෙන විදේශිකයන් අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ප්‍රමුඛස්ථානයක් ලැබී තිබීම ඉතාම සතුට ගෙන දෙන කරුණක් වේ. සාත්තු සේවකයින්, කෘෂි කර්මික රැකියා හා නවතම රැකියා අවස්ථාවක් වන ඉදිකිරීම් අංශයට ශ්‍රී ලාංකිකයන්ට රැකියා ලබා දීමට ඊශ්‍රායල් රජය සැරසී සිටී. එලෙස ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛස්ථානයක් ලැබී ඇත්තේ ඔවුන් සතු කාර්යශූර භාවය, ආදරය, දයාව, කරුණාව වැනි ගුණාංග මෙන්ම රැකියාව සඳහා කැපවී අවංකව කටයුතු කිරීමේ ගුණාංග ශ්‍රී ලාංකිකයන්ට සහජයෙන් ලැබී ඇති බව දන්නා නිසාය.

ඊශ්‍රායල් බස සිංහලට මංගලගේ ග්‍රන්ථය එළිදකී

එලෙස භාෂා සන්නිවේදනය ඉතාම අත්‍යවශ්‍ය කරුණකි. මන්ද ඊශ්‍රායල් ජාතිකයන් ඉංග්‍රීසි බස දන්නා මුත් හෙබ්‍රෙව් භාෂාවට මුල් තැන දෙන නිසාවෙනි. එබැවින් හෙබ්‍රෙව් බස යම්තාක් දුරට ඉගෙනගෙන ඊශ්‍රායල් දේශයට පැමිණීමෙන් කුමන රැකියාවක් කළ ද අන්‍යොන්‍ය සහයෝගයෙන් සන්නිවේදන අභියෝගයක් නොමැතිව රැකියාව කිරීමට පහසු වන බව පැහැදිලිය.

ශ්‍රී ලාංකිකයන්ගේ හෙබ්‍රෙව් භාෂාව ඉගැනීමේ පහසුව තකා මාතලේ කවුඩුපැලැල්ලේ සිට වර්ෂ 2017 දී ඊශ්‍රායල් රටට පැමිණි මංගල කරඳවල මහතා අපූරු පොතක් නිර්මාණය කර ඇත. පැමිණි මුල් මාස කිහිපය භාෂා සන්නිවේදනය ඉතා දුෂ්කර වූ බැවින් හෙබ්‍රෙව් භාෂාව ඉගෙනගැනීමට සිංහල බසින් පොතක් නොමැති බැවින් මංගල කරඳවල මහතා එම අභියෝගයට මුහුණ දී ඉදිරියේ දී ඊශ්‍රායල් දේශයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා “SPOKEN HEBREW සිංහල අපිට” නිර්මාණය කොට ඇත.

පිටු 270 කින් සමන්විත මෙම පොත සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා ද මේ පොතෙන් පිටිවහලක් වනු ඇත. එදිනෙදා භාවිතා කරන ආදරණීය සුබ පැතුම් සුලබව අත්‍යවශ්‍ය වාක්‍ය හා වචන, සර්ව නාම, නිපාත පද, යුගල පද, විරුද්ධ පද, ක්‍රියා පද හා මූලික ව්‍යාකරණ අවස්ථා සරලව පැහැදිලි කර ස්වයං අධ්‍යයනයේ නියළෙන්නකුට කදිම පොතක් වශයෙන් දැක්විය හැකිය. දැනට මේ පොත ලංකාවේ දී මෙන්ම ඊශ්‍රායලයේ දී ද මිලදී ගත හැකි බව මංගල කරඳවල මහතා අප වෙත දන්වන ලදි. ඔහුගේ ඊමේල් ලිපිනය [email protected] මෙන්න මේ මහඟු කාර්යභාරය සිදු කළ දැනට ඊශ්‍රායල් දේශයේ සාත්තු සේවයේ නියැළෙන මංගල කරඳවල මහතාට සුභපතමු.

advertistmentadvertistment
advertistmentadvertistment