කල් මැරුම හෙවත් වවුල් වත

315
umbe2

නිමල් ෆ‍්‍රැන්සිස්

පෙර එක් සමයක්හි මඤ්ඤංලන්තයේ අග‍්‍ර පුරය වූ කෝලම්භපුර මධ්‍යයේ වූ මඤ්ඤං ප‍්‍රභූ දනන් වෙසෙනා පෙදෙසක බොදුලක් මග නම් වූ මහමගට යා වූ අතුරු මගෙක පිහිටියා වූ එක් තේජස්මාන විසල් මැදුරක සුසැදි, සිය වෘත්තියෙහි මනා නිපුන වූ උයන්පල්ලන් විසින් ශූර ලෙස පාරිපෝෂ්‍ය කරනා ලද්දා වූ මනරම් ගෙඋයන හරහා ඇදී එන නේක නේක ශෝභමාන වූ පුෂ්පයන්ගේ සුවඳින් සුගන්ධවත් වූ මඳ පවනෙහි සුවය විඳිමින් එකී ගෙඋයනට මුහුණ ලා වූ පාරම්පරික ශූර දැව වඩුවන් විසින් සියුම් කැටයම් කර්මාන්තයෙන් මොනවට අලංකරණය කොට නිමවන ලද්දා වූ ගෙඋයන් මණ්ඩපයෙහි වූ සුව අසුනෙහි පාසුයෙන් හිඳ ගෙඋයන මධ්‍යයෙන් පටුමග තෙක් දිවෙනා වූ පෙත්මග දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිනා වූ පුරුෂයෙක් දක්නා ලද්දේය.

මෙකී පුරුෂයා කවුරුන්ද යත් එක් කලෙක දස චෝර ධර්මයෙන් මඤ්ඤංලන්තය පාලන කළ රජපස් නම් රජුන් පලවා හැර අර්ථයෙන් හා ධර්මයෙන් රට පාලන කෙරෙමියි මඤ්ඤං දනන් හමුයේ ශපථ කොට සිංහාසනාරූඪවැ මඳ කලක් ඇවෑමෙන්මැ සිය යුවරජු හා නොමනාපවැ, ස්නානය පිණිසැ පොදු ස්නානාගාර වෙත රැස්වන ග‍්‍රාම්‍ය ස්ත‍්‍රීන් එකිනෙකා පිළිබඳවැ කියනා ප‍්‍රලාප හෝ සපාදූප සේ මැදි හමු, රැස්වුම් ආදියෙහි යුවරජු හා උන් සගයින් හට අවලාද ආක්‍රෝශ ආදිය බෙනෙමින් එකිනෙකාට නියවමින්, විරිත්තමින් හා උමතු කෙළිමින් හිඳ සමූහ සම්මුති තීරණාදිය නොමැත්තේ දෑහිත ආරක්ෂාව අනතුරෙහි හෙළා දෙතුන් සිය ගණනෙක් අසරණ මඤ්ඤං ජනයින් පරලෝකාප‍්‍රාප්ත කෙරුමට දායකව ‘ඊට තුමූ පළිදැ’යි, විමසූවනට පිළිවදන් කොට කිසිත් සිදු නොවූ සේ රජසුනෙන් බැස ගොස් තවද බල ලොබ ක්ෂය නොවූයෙන් වත්මනෙහි නිකම් නිකං රජසබ මැටියෙක්වැ හිඳිනා පෙර මඤ්ඤං රජ්ජුරු කෙනෙකුන් වන්නාහ. මෙසේ අනිමිසයෙන් යුතු වූ එකී බිහි රජාණෝ එකී කල්පනායෙන්ම මැදුරු ආලින්දයෙහි අසුනක හිඳිමින් ස්තී‍්‍ර පවත් තල්පතක් බලමින් සිටිනා වූ ප‍්‍රිය දේවිය දෙස බලා, ”සොඳුරියෙනි, අපරාධකරුවන් උල හිඳැවීම තහවුරු කරනු වස් සටන් වැදි මා හට පමා වී හෝ සත්‍යාවබෝධය පහළවීම යහපතයැ. දැරියකගේ හිස සත්කඩක් වන්නට පවුරක ගැටූ තෙල මානවකයා හට ක්ෂමාදානය ප‍්‍රදාන කරැවුම බහුතර ජනයින් පිළිකුල් කළද වත්මන් රජුද මා ගුරු කොටගෙනැ ඝාතකයනට ක්ෂමාව මතු නොව රාජ්‍ය තනතුරුද ප‍්‍රදාන කරනාහ. එතුමනටද සත්‍යාවබෝධය පහළවීම ප‍්‍රීතියට කරුණෙකියැ’යි පවසනාහ. දේවියද එකී බස ඇසුනද මුවින් නොදොඩා තල්පතටමැ නෙත් හෙළා හිඳින්නීයැ.

මෙසේ නේක වූ පෙර කල්පනායෙන් දැවමුවා මණ්ඩපයෙහි සුව අස්නෙහි බෑවී හිඳිනා මෙකී බිහි රජ තෙමේ තුමූ අනිමිසලෝචනය එක් දෙයක් කෙරෙහි සුවිසෙස් ලෙස නාභිගත කෙරුමට මෙන් එක්වරමැ දෑස සිහින් කොට උයන් පෙත්මග දෙස බලා අනතුරුවැ ”සොඳුරියෙනි, තෙල දිසාපාමොක් සිප්හලෙහි සිට එනු පෙනෙනුයේ අප දුහිතෘන් හා පුතණුවන් නොවේදැ? එතකුදු උන් සමඟ එන්නා වූ අනෙක් ගොබිලා කවරෙක්දැ? අපට තවත් දියණියක් මිස පුත‍්‍රයෙක් නොසිටියේ නොවේදැ’යි අසනාහ. දේවිය ද එතුමන් කියනා දිසාව බලා, ”නුඹ වහන්සේ නුහුගුණයෙන්වත්දැයි සිතෙන්නෙහියැ. අප දෙදරුවන් හා තෙල පැමිණෙනුයේ තොප හස්ත පසෙහි ලේකමා වූ ජයකෙබරයායැ. නුඹ වහන්සේට උහු හැඳනිය නොහැක්කේදැ? ඇරත් අප දෙදරුවන් දිසාපාමොක් ඇදුරු සමීපයෙහි සිප් හදාලේ උන් බාලවියේදීයැ. උන් අවාහ විවාහ කොටදීත් අවසන් බැව් නොමතකදැ?’යි මඳ කොවින් අසා, ‘පෙර රාත‍්‍රියෙහි සැතපෙනා හෝරාව දස කණිසම ඉක්මවා ඇති සේයැ. තවමැ අඩනින්දේ සේයැ’යි තුමුනටමැ මුමුණාගන්නීයැ. බිහි රජ තෙමේ දේවිය කී බස් සවනට නොගෙන, ”මුහු හස්තිෙසෙලපුර සිට තකහනියක්මැ පුලතිසිපුර පැමිණෙනුයේ කවර හෝ වෙසෙස් කරුණක් අරභයා වියයුත්තේයැ. දේවිය බෝ දුර ගෙවා පැමිණෙනා උහුට සාපිපාසා හෙයින් කසපැන් බඳුනක් ඇතොත් යෙහෙකැ’යි පවසනාහ. දේවියද වික්ෂිප්තවැ, ”නුඹ වහන්සේට අරපයිත්තියන්දැ? අප මේ සිටිනුයේ පුලතිසිපුර නොව කෝලම්භපුරයැ. රජසුනෙන් බැහැර වූ කල්හි පුලතිසි නුවරට ගොස් අල්පේච්ඡු දිවියක් ගත කෙරෙමියි කී නුඹ වහන්සේ බලෙන් මෙන් ඩැහැගත් අටසිය කෙලක් වටනා වූ කෝලම්භපුර සුවිසල් මැදුරෙහි බව නොපෙනේදැ?’යි ඇසූ කල්හි එබසට ද කන් නොදුන් එතුමාණෝ ගාටමින් මෙන් එන ජයකෙබරයා දෙස බලා හිඳිනාහ.

කොමිසමුන් හමුව පෙරළා එන රිවිකරුණයා සේ නස්පුක් වූ වතින් යුතුව මණ්ඩපයට නැගුනා වූ ජයකෙබරයා එහි දැවමුවා පොළොව මත ඇන තබා ගනුයේ චලනයක් පතිත වූ නිදිකුඹ ශාකයක් සේ හේබා හිඳිනායැ. බිහි රජාණෝද උහු දෙස මඳ වේලායෙක් බලා හිඳ, ”එම්බල, තා නාගයා අස්ථානගත වූ පනික්කියකු සේ අඤ්ඤකොරෝසවැ හිඳිනුයේ කිමෙක් නිසාදැ? හස්තිෙසෙලපුර තොප දනව්වේ කිසියම් වූ පැනයෙක්දැ?’යි විමසනාහ. ජයකෙබරයාද රොස් වූ වතින් යුත්තේ, ”එවැන්නක් නොවේයැ ස්වාමීනී. තෙල පොට්ටුවන්ගේ පරිභව වදන්, කුඩුකේඩුකම් කෙතෙක් නම් ඉවසම්දැ? මුන් අතැර යන්නට හෝරාව පැමිණ ඇත්තේයැ’යි කළකිරුමෙන් බෙනෙනායැ. බිහි රජ්ජුරුවෝද එබස් අසා මුවින් නොබැන යළි කල්පනායෙටම හා අනිමිසයටම වැටෙනුයේ පෙත්මග දෙස දෑස් යොමනාහ. එසේ බලා ”ජයකෙබරය, පෙත්මග දිගේ තෙල පැමිණෙනා කුරුමිටියා කවරෙක්දැ? පෙර මහෞෂධයන් කල සිටි කාලගෝලයාවත්දැ?’යි දෑස් සිහින් කොට බලා කී කල්හි ජයකෙබරයාද හිස හරවා බලා, ”ස්වාමීනී, තෙල පැමිණෙනුයේ අසැබියායැ. බලනු මැනව, උහුගේ පැනයද එසේමයැ’යි පිළිවදන් දෙන්නායැ. අසැබියාද අශ්වයා සෙත්තපෝච්චිගත වූ අසරුවකු සේ වැනි වැනී පැමිණ මණ්ඩපය අගුවෙහි ඇන බා ගන්නායැ. ”ස්වාමීනී, මා අන්තයටමැ දිසපොයින්තවැ හිඳිමි. තෙල රත්තරනාගේ දන්තයන් සුඟ ආමාශගත කෙරුමට තරම් සිතුවිලි පහළවැ ඇත්තේයැ. ඊට පළමු අප වෙනතක් බලාගතහොත් යහපතැ’යි ඉවත බලාගෙනමැ මුමුණනායැ. බිහි රජ්ජුරුවෝද, ‘අට වසකට පමණ පෙර රජපස කුටුම්භය අරභයා අප කළ කී දෑ සිහිපත් වන කල්හි අපට මෙසේවත් සැලකීම විශ්මයෙකැ’යි සිතා එබැව් මුවින් නොබැන, ”සගයෙනි, තව සුළු කලක් ඉවසව්. මුන් කැලත ජනයිනට අපුල වන්නට මා තරම්වත් කල් නොයන බැව් පෙනේයැ. දැනටමත් එසේ වී ඇතැයි පෙනෙනායැ. එකල්හි අපට තනිවැ නැගී සිටින්නට හෝ පෙම්දස් සජිතයාගේ වලගයෙහි එල්ලෙන්නට හෝ හැක්කේයැ. එතෙක් එකී කොහිල කටු ඉවසව්. වැලිදු, පාස්කු පැනය නිමවනතෙක් මුන්ගේ වලගයෙහි එල්ලී සිටුම තොපට කෙසේ වෙතත් මට නම් යහපත්යැ’යි ඉවත බලාගෙන තෙපලනාහ.

advertistmentadvertistment
advertistmentadvertistment