දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 60කට වැඩි පිරිසක් මරුට

108

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ පිහිටි තට්ටු පහකින් යුත් මහල් නිවාස ගොඩනැගිල්ලක ඊයේ (31 දා) හටගත් ගින්නකින් පුද්ගලයන් 60 දෙනකුට අධික පිරිසක් මියගොස් තවත් 40 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ගින්න හට ගැනීමට මුල් වූ හේතුව ඊයේ දහවල් වන විටද අනාවරණය වී නොතිබුණි. මෙම මහල් නිවාස ගොඩනැගිල්ලේ වැඩි වශයෙන් වාසය කර ඇත්තේ අප්‍රිකානු සංක්‍රමණිකයන් බව වාර්තා වී ඇත.

ගින්න පැතිරීම ඇරඹීමත් සමගම මධ්‍යම ජොහැනස්බර්ග් නගරයේ, මාෂල්ටවුන් ප්‍රදේශයේ පිහිටි අදාළ පස්මහල් ගොඩනැගිල්ල වෙත පැමිණ ඇති ගිනි නිවන හමුදා භටයෝ ගොඩනැගිල්ලේ මහලෙන් මහලට ගොස් ගින්න නිවා දැමීමේ හා ගින්නෙන් විපතට පත් වූවන් සෙවීමේ කාර්යයේ නියැළෙමින් සිටියහ. පැරණි ගොඩනැගිල්ලක් වන ගින්න හටගත් ගොඩනැගිල්ලේ සෑම මහලකම පාහේ අවිධිමත් අනාරක්ෂිත ඉදිකිරීම් දක්නට ලැබෙන බවත් ගින්න හේතුවෙන් මහල් නිවාසවල ජනෙල් වීදුරු සියල්ලම පාහේ පිළිස්සී ගොස් ඇති බවත් ගින්න නිවා දැමීමේ කටයුතුවල නිරතව සිටින ගිනි නිවන හමුදා භටයන් ප්‍රකාශ කර තිබේ. ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ගිනි නිවන හමුදා භටයෙකු සඳහන් කර ඇත්තේ සිය වසර 22ක සේවා ඉතිහාසයේ මෙවැනි ගින්නක් දැක නොතිබූ බවයි. ගින්න ගටගත් මාෂල්ටවුන් ප්‍රදේශයට පිටතින් පුද්ගලයන් පැමිණීම පොලිසිය විසින් තහනම් කර තිබේ. ගින්න හටගත් විගසම මහල් නිවාස ගොඩනැගිල්ල වෙත ගිනි නිවන හමුදා ට්‍රක් රථවලින් පැමිණ ඇති ගිනි නිවන හමුදා භටයන් ගින්න හේතුවෙන් මහල් නිවාසවල සිරවී සිටි පුද්ගලයන් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment