මරණයට මෙහා දිය හැකි හොඳම දඬුවම

1028

පෙරේදා සවස කොළඹට රැස්වූ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතාකරුවන්ට ගුටි දීම පිළිබඳ අප තුළ එකඟත්වයක් නැත. එසේම ගුටි දෙන බව දැන දැනත් ජේ.වී.පී. කට්ටිය කොළඹට පැමිණ උද්ඝෝෂණ පැවැත්වීම ගැනත් අප තුළ එකඟත්වයක් නැත. ජනතා විමුක්ති පෙරමුණ සහ සජිත් ප්‍රේමදාස ඔළුවෙන් හිටගත්තත් ආණ්ඩුව මේ වෙලාවේදී පළාත් පාලන ඡන්දයක් දෙන්නේ නැත. මේ පළාත් පාලන ඡන්දයට ජේ.වී.පී. ය කැමති වන්නේ එමගින් සජිත්ගේ සමගි ජනබලවේගය දෙවැනි තැනට එන නිසාය. මන්ද මේ වෙලාවේදී පාවෙන දේශපාලන රැල්ල ගහන්නේ ජේ.වී.පී.ය දිසාවටය. තව මාස දෙක තුනක් යනවිට මේ රැල්ල වෙනස් වී වෙන කට්ටියක් උඩට ඒමට ඉඩ තිබේ. මෙය දේශපාලන තරගකාරීත්වය නමැති සංකල්පය මේ ලෝකයේ ස්ථාපනය වූ දවසේ පටන්ම සිද්ධ වූවකි. අනික් අතට දැනට මේ ඡන්දය වෙනුවෙන් ගහමරා ගන්නා සියලුම දෙනා මීට කලකට පෙර එකට වැඩ කළ අය වෙති. යහපාලන කාලයේදී රනිල්, සජිත්, අනුර දිසානායක යනාදීහු එකට වැඩ කළහ. ඊළඟ ඡන්දයේදී දෙකට බෙදුණු ඔවුහු තමන්ට අභිමත දේශපාලන මාර්ගවල ගමන් ගත්හ. මේ ගැන කොතරම් කතා කළත් විශාල ප්‍රතිඵලයක් නොලැබේ. ධනවාදී දේශපාලන ස්වරූපය වන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙවැනි හැලහැප්පිලි විශාල වශයෙන් ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය කරන ලදැයි චෝදනා කළ චන්ද්‍රිකා ටික කලක් ජේ.වී.පී.යට බනිමින් සිට පසුව බලය පතා ජේ.වී.පී. ය සමග එක්විය. මෙවැනි තත්ත්වයක් තුළදී එ.ජා.ප. යත් ජේ.වී.පී.යත් හෙට එක්වීමට ඉඩ තිබේ. ජේ.වී.පී. යත් සජිතුත් අනිද්දා එක්වීමට ඉඩ තිබේ. එනිසා අප මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින දේශපාලන අර්බුදවලට නිරීක්ෂණ මට්ටමින් පමණක් සහභාගි වන ලෙසය. එම සහභාගිත්වයද තිබිය යුත්තේ කඳුළු ගෑස් සහ Water Cannon තමන්ට නොවදින තරම් ඈතින් සිටය.

මීට දින කිහිපයකට පෙර යාපනේ සරසවියේ කලා උළෙලකදී දෙවනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ගුටි කෙලියක් හටගත්තේය. මින් තුවාල ලැබූ කට්ටිය දැනට ඉස්පිරිතාලගත කර ඇති අතර ගුටි දුන් කට්ටියගේ පන්ති තහනම් කර ඇත. ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය අන් කවර දවසකත් නොවූ පරිදි කුණු ගඳ ගහන වැසිකිළි වළක් බවට පත්වෙමින් තිබේ. මේ වල තුළ විවිධාකාර පණුවෝ සිටිති. මීට දෙසතියකට පමණ පෙර සබරගමුවේ විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨ සිසුන්ට ජ්‍යෙෂ්ඨ මී හරකුන් විසින් අනින ලදී. ජ්‍යෙෂ්ඨ මී හරකුන් චෝදනා කරන්නේ කනිෂ්ඨයන් කොණ්ඩය සහ රැවුල කපා නැති බවය. මේ නිසා සබරගමු සරසවියේ කොටසක් තාවකාලිකව වසා දමන ලදී. ජ්‍යෙෂ්ඨ මී හරකුන් විශ්වවිද්‍යාලයට පැමිණියේ කනිෂ්ඨයන්ගේ රැවුල් හා කොණ්ඩ කපනු පිණිසද? සමහරවිට මේ ජ්‍යෙෂ්ඨ මී හරකුන් කරණවෑමි උපාධියක් කරන අය විය යුතුය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට වැදී ඇති හෙණය වෝල්ටේජ් කෝටි ගණනක අති බලගතු හෙණයකි. ඒ නිසා මේ රටේ විශ්වවිද්‍යාල මස් මඩු බවට පත්ව තිබේ. මේ ගව ඝාතනාගාර ප්‍රතිසංස්කරණය කර අධ්‍යාපන පීඨ බවට පත්කිරීම සඳහා ආණ්ඩුව කවර හෝ පියවරක් ගත යුතු බවට 1980 සිටම විවිධ ඉල්ලීම් ඉදිරිපත් විය. එහෙත් ඒ ගැන කවුරුත් උනන්දු නොවුණේ මේ රටේ සෑම දේශපාලන පක්ෂයකටම විශ්වවිද්‍යාලය තුළ දේශපාලන කුට්ටියක් තිබෙන හෙයිනි. මේ අතර මේ රටේ විශ්වවිද්‍යාලවල විනය පවත්වාගෙන යෑම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යාවත්කාලීන කිරීම රජය දැන් ආරම්භ කර තිබේ. ඒ අනුව ඉදිරියේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සියලුම සිසුන්ට නීතිමය ගිවිසුමකට අත්සන් කිරීමට සිදුවනවා ඇත. කුපාඩියන් ලෙස හැසිරීමෙන් වැළකී සිටීමද මේ නීතිමය ගිවිසුම තුළ තිබේ. මේ බව ප්‍රකාශ කර ඇත්තේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්ය.

විශ්වවිද්‍යාල සිසුන් අරගල සිදුකරන විට හතර වටේටම පහර දෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවට සිටිනා සිසුන්ගේ හිස් කබල්ද විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලිද, පරිගණකද වෙනත් වටිනා ද්‍රව්‍යයද විනාශයට පත්වෙයි. උදාහරණයක් වශයෙන් ජ’පුර විශ්වවිද්‍යාලයේ ඕවිටිගලගේ සමන්ත නමැති නවක වධ විරෝධී ශිෂ්‍යයාට මෙයට කලකට පෙර මී හරක් ශිෂ්‍ය පිරිසක් විසින් පරිගණකයකින් හිසට පහරදෙන ලදී. ඒ කාලයේදී LED Flat Screen පරිගණක නොතිබුණු අතර විශ්වවිද්‍යාල තුළ තිබුණේ පරණ තාලේ ඝනකම් වීදුරු මූනතක් සහිත පරිගණක පමණි. මේ පරිගණක මූණත ඉතාම ඝනකම් වීදුරුවකින් සාදා ඇත. ඕවිටිගල සමන්තගේ ඔළුවට මෙවැනි පරිගණයකින් පහරදෙන ලද අතර ඔහුගේ හිස පරිගණකයේ වීදුරුව කඩාගෙන ඇතුළට බැස්සේය. මෙවැනි තත්ත්වයකට පත්වුණු හිස් කබලකින් යළි වැඩක් ගැනීමට බැරිය. එවැනි විටකදී සිදුකළ හැකි එකම දෙය වන්නේ එම පහර කෑ පුද්ගලයාගේ ගෙලෙන් පහළ පිහිටා ඇති ඉන්ද්‍රීන් රෝගීන්ට පරිත්‍යාග කිරීම පමණි. ඕවිටිගල සමන්තට පහර දී මැරූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද වන විට උසස් වෘත්තිකයන් බවට පත්වී පිට රටවල සේවය කරති. සමන්තගේ අම්මා තම මියගිය පුතා වෙනුවෙන් අදටත් කඳුළු බොයි. විශ්වවිද්‍යාල තුළ පවත්නා මේ කුණු ගඳ ගහන ස්වභාවය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට කවර හෝ පියවරක් රජය ගත යුතුය. මිනීමරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එකෙක් දෙන්නෙක් එල්ලුම් ගස් ගියොත් එය මුළු රටටම පරමාදර්ශී අවස්ථාවක් වීමට ඉඩ තිබේ. එහෙත් තමන් මරණ දණ්ඩනයට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා කීවේය. මේ නිසා මේ අපරාධකරුවන්ට මරණයට මෙහා ඇති ඉහළම දඬුවම ලබා දිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment