වසර 14කට පසු කැනඩා පොලිස් වාර්තාවෙන් කොටි රහස් හෙළිවෙයි – ආයුධ මිලයට ගත් හැටි මාධ්‍යවේදී ස්ටුවට් බෙල් අනාවරණය කරයි

386

කොටි පරදවා වසර 14ක් ගතවන අවස්ථාවේ කැනඩාවේ පොලිසිය කැනඩාවේ කොටි ජාලය මෙරට කොටි ත්‍රස්තවාදයට අරමුදල් සැපයූ හැටි හෙළිකර ඇත. එහෙත් කැනඩා අගමැති ජස්මින් ටෘඩෝ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනසංහාරයක් සිදුවූ බවට ඊයේ ප්‍රකාශයක් කරමින් එම ජනසංහාරය පිළිගෙන තිබේ. එසේම මැයි 18 දා ජනසංහාර දිනය ලෙස රජය නම් කළ බව ද හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

ඔහුගේ රජය ප්‍රභාකරන්ගේ ආයුධ ප්‍රවාහන ජාලයේ ප්‍රධානියා වූ සංගිලිට දේශපාලන රැකවරණ ලබාදීමට ද ක්‍රියා කළ බව කැනඩා මාධ්‍ය මුල්වරට හෙළිකර තිබේ. කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ස්ටුවට් බෙල් හෙළි කළේ එරට වර්ල්ට් ටැමිල් මූවස්ට් සංවිධානය කොටි ත්‍රස්තවාදයට ඩොලර් මිලියන 3 සිට 10 දක්වා අරමුදල් සැපයූ බවයි. කැනඩා පොලිස් වාර්තාවෙන් අරමුදල් සැපයූවන් ද අනාවරණය වී ඇත. එහෙත් ජස්මින් ටෘඩෝ රජය මේ පොලිස් වාර්තාව සඟවනු ලැබූ අතර ත්‍රස්තවාදයට අරමුදල් සැපයූවන්ට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත.

එසේ වුවත් කොටි සංවිධානයේ හිතවතකු වූ ගැරි ආනන්ද සංගරි අගමැතිගේ හොඳම මිතුරා බවට පත්විය.

ගැරිගේ උපදෙස් මත කැනඩා රජය මහින්ද රාජපක්‍ෂ – ගෝඨාභය රාජපක්‍ෂ- සුනිල් රත්නායක සහ චන්දන හෙට්ටිආරච්චිට කැනඩාව තහනම් විය.

කැනඩාවේ නැෂනල් පෝස්ට් මාධ්‍යවේදී ස්ටුවට් බෙල් කැනඩාව කොටින්ට අරමුදල් සැපයූ බව සනාථ කළේ ඔපරේෂන් ක්‍රිම්බල් නමැති පොලිස් වාර්තාවෙනි.

කැනඩා සංවිධාන 6ක් කොටි ත්‍රස්තවාදයට අරමුදල් සැපයූ බව ඔහු හෙළි කළේය. එම වාර්තාවේ සඳහන් වූයේ කැනඩාවේ සිට මැලේසියානු අවි ජාවාරම්කරුවන්ට ඩොලර් 500,000 ක මුදලක් යවා ඇති බවයි. කැනඩා පොලිසියේ කෝප්‍රරල් තෝජි මේ තොරතුරු සොයාගෙන තිබේ. කැනඩාවේ ටොරොන්ටෝ නුවර ද්‍රවිඩ ජනතාවගෙන් ඩොලර් 4000 සිට 8000 දක්වා කප්පම් ලබාගැනීමට ද කැනඩා කොටි ජාලය ක්‍රියාකර තිබිණි. කැනඩාවේ බැංකු 4කින් කොටින්ට මුදල් හුවමාරු විය.

එහෙත් මේ බැංකුවලට එරෙහිව නිසි පියවරක් ගැනුනේ නැත. මේ හැර ප්‍රභාකරන් විසින් කැනඩාවේ කොටි හිතවාදීන්ට එවා තිබූ රහස් ලිපියක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. කපිර් ප්‍රහාරක යානා වැනසීම සඳහා මිසයිල මිලයට ගැනීමට මුදල් එවන ලෙස ප්‍රභාකරන් කැනඩා කොටි ජාලයෙන් ඉල්ලා තිබිණි. මෙම රහස් ලිපිය ළඟ තබාගෙන සිටි කොටි හිතවාදියාට එරෙහිව කිසිදු පියවරක් ගැනුනේ නැත. ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව අවි ආයුධ මිලයට ගැනීමට කටයුතු කළ කැනඩා කොටි ක්‍රියාකාරියකු අධිකරණයෙන් බේරා ගැනීමට ශ්‍රී ලංකා රජය කැනඩාවට ලිපියක් යවා තිබූ බව ද පසුව හෙළි ිවිය. කැනඩා පොලිස් වාර්තාවට අනුව කොටි ජාලය සතුව ටොරොන්ටෝ නුවර වෙළෙඳ ආයතන, වාහන අංගන, අවන්හල් 400 කට අධික සංඛ්‍යාවක් ද තිබිණි.

කොටි දේශපාලන නායකයාව සිටි තමිල් සෙල්වන් සතු ටොරොන්ටෝ නුවර බාබු අවන්හල ද ක්‍රියාත්මක විය. තමිල් සෙල්වන්ගේ බිරිය සෂිරේකා එම අවන්හලේ හිමිකම ඉල්ලා සිටි අතර ඇයට එය ලැබුණේ නැත.

මේ පසුබිම මැද කැනඩා කොටි ජාලයේ තොරතුරු ක්‍රිම්බල් වාර්තාවෙන් හෙළිවී ඇත. ස්ටුවට් බෙල් දක්වන්නේ පුහුණු කොටි 8000ක් ටොරොන්ටෝ නුවර සිටින බවයි. එසේම කොටින්ගේ සන්සි නැවෙන් කොටි 420ක් කැනඩාවට පැමිණි අතර ඔවුන්ට දේශපාලන රැකවරණය ලැබිණි. මේ හැර වන්නියේදී කොටි කඳවුරක සිටි හමුදා නිලධාරීන් කණ්ඩායමක් වෙඩි තබා මරා දැමූ කොටි ඝාතකයන් දෙදෙනා ද අසුවූ නමුත් නීතිවේදීන් පිරිසක් ඔවුන්ව බේරාගනු ලැබීය. මෙවන් තත්ත්වයක් මැද ශ්‍රී ලංකාව තුළ කොටි යුද්ධයට පණ පොවන ලද්දේ කැනඩා කොටි බව ස්ටුවට් බෙල් තවදුරටත් හෙළි කර තිබේ. ස්ටුවට් බෙල් නෝර්වේහි ඔස්ලෝ නුවර පැවති මහ සමුළුව හමුවේ ද කැනඩාවේ සිට කොටි ශ්‍රී ලංකාවේ ත්‍රස්ත යුද්ධය ගෙන යෑමට වගකිව යුතු පාර්ශ්ව හෙළි කළේය.

2009 මැයි 18 දා යුද්ධය නිමාවීමෙන් පසු සොයාගත් සන්නිවේදන උපාංග අතර කැනඩාවේ නිපදවූ අධිතාක්ෂණික උපකරණ ද විය.

එසේම කැනඩා රජය ප්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනිට ද දේශපාලන රැකවරණ දුන්නේය. මගේ සොහොයුරාව පරාජය කළ හැකි ජගතෙක් ලොව නැතැයි ද ඇය පැවසුවාය.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment