ජනතාවට කැප කරන්න කියලා ආණ්ඩුව සහන මල්ලත් කැපුවා – විපක්‍ෂ නායක සජිත් නිවේදනය කරයි

111

ජනතාවට කැප කිරීම් කරන්නැයි කියූ ආණ්ඩුව කොරෝනා උවදුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ලබාදෙනු ලබන සහන මල්ලටත් සීමා පනවන්නේ නම් ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකි යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 විපක්‍ෂ නායකවරයා එසේ සඳහන් කරමින් ඊයේ (25) දින නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දක්වා ඇත.

 නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000 ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ.

 ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පළිගැනීම ආරම්භ කොට තිබේ.

 කෙටි කලකට හෝ රට වසා දමන්නැයි අප ආණ්ඩුවට බල කළේ පවත්නා බිහිසුණු කොරෝනා ව්‍යාප්තියෙන් ජීවිත බේරා ගැනීමට මිස එය ජන ජීවිත පීඩාවට පත් කිරීමට ආණ්ඩුවට දුන් බලපත‍්‍රයක් නොවේ. අප පුන පුනා කළ ඉල්ලීම කඩිනම් නොකර කල්මැරීමෙහි ආදීනව රටම භුක්ති විඳිමින් සිටින අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් රටවල් අතර ප‍්‍රමුඛ තැනකට අපේ රට පත්ව ඇත්තේ ද ඒ හිතුවක්කාරී කි‍්‍රයා පිළිවෙත නිසාය.

 වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හඳුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ අපේ බලපෑම නිසාම ජනතාවට දෙන්නට වූ අවම සහන මල්ල පවා අත්හිටුවීම ය.

 ජනතාවට කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුව ඉල්ලා සිටින නමුත්, කොරෝනා උවදුර ආරම්භ වූ දවසේ සිටම ජනතාව කරනු ලබන කැපකිරීම ආණ්ඩුවට නොපෙනීම සහ නොදැනීම අදහාගත නොහැකිය.

 ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් ඉහළ දැමූ ආණ්ඩුව ය.

 ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ආහාර වියදම දරාගැනීමේ ශක්තිය අතින් ලංකාව ලොව දුප්පත්ම රටවල් 5 අතරට දමා වැටුපෙන් 66% ක් ආහාරවලට වැය කරන තැනට රට පත් කළ ආණ්ඩුව ය. ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ධන කුවේරයන්ට බදු සහන ලබා දී මිලියන හයසීයක් රටට අහිමි කළ ආණ්ඩුව ය.

 ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ සීනි සහ පොල්තෙල් වංචාවන් හරහා ගජමිතුරන්ට සහන ලබා දුන් ආණ්ඩුව ය. තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්‍ෂ ගණනක් පුරවැසියන් ජීවත් වන රටක ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් තවත් නැත. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමනවානම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment