කෙහෙළිය ඉන්දියාවෙන් ඔක්සිජන් ඉල්ලයි

645

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප‍්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (25දා) ඉල්ලා සිටියේය.

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහි ද අවධානය යොමුකරන ලෙස ද ඇමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසු ඉන්දීය මහ කොමසාරිස්වරයා හා ඇමැතිවරයා අතර මෙම නිල හමුව ඊයේ සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සිදු විණි.

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මේ මොහොතේ අතිශය වැදගත් බවත්, ඔක්සිජන් අවශ්‍යතාව සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු බැවින් ඒ සඳහා ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුවනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර කරුණු කිහිපයක් සාකච්ඡුා කෙරිණි. මෙයට අමතරව ටොසිලිසුමැඞ් (Tocilizumad) ඖෂධය (Tozi)  මෙරටට ලබාදීම කෙරෙහිද ඉන්දියාවේ අවධානය යොමු කරන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටියේය. දිගු කාලීන මිත‍්‍රත්වයක් පවතින අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව මේ මොහොතේ මෙරට කොවිඞ් මර්දනය උදෙසා ඉටුකරන කාර්යභාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක් විය. දෙරට අතර පවතින එම සබඳතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් හැකි සෑම විටම ඉන්දියාවෙන් ලබාදෙන සහයෝගය අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා නව සෞඛ්‍ය ඇමැතිවරයාට සුබ පැතූ අතර, නව ඇමැතිවරයා පත් කිරීම තුළින් රාජ්‍ය නායකත්වය ඇමැතිවරයා කෙරෙහි පවතින විශ්වාසය පෙන්නුම් කළ බව හෙතෙම කීවේය. ඉන්දීය ශ‍්‍රී ලංකා දිගු කාලීන මිත‍්‍රත්වය හා සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බවත්, විශේෂයෙන් ‘කොවිඞ් – 19’ මර්දනයේ දී ඉන්දියාවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබා දෙන බවත් ගෝපාල් බග්ලේ මහතා පවසා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment