ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ගයන්තිකා අරුණ සහ දිල්හානිත්

201

ලෝක මලල ක්‍රීඩා ශූරතා 2023 තරගාවලිය සඳහා ගයන්තිකා අබේරත්න (මීටර් 1500), දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම) සහ අරුණ දර්ශන (මීටර් 400) සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකාවේ මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම ද මීට පෙර ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණි.

2023 ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය හංගේරියාවේ බුඩාෆෙස්ට් හිදී මේ මස 27 වැනිදා සිට පැවැත්වේ.

ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායමක් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක් සඳහා මෙසේ සුදුසුකම් ලබාගත්තේ වසර දහයකට පසුවය.

2011 වසරේ චමින්ද විජේකෝන්ගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් මීටර 1500 ඉසව්වට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස ගයන්තිකා මෙවර තරගාවලියට ඉදිරිපත් වීම සඳහන් කළ හැක.

මෙම අවස්ථාව ගයන්තිකාගේ දෙවැනි ලෝක කුසලාන තරගමාලාව වන අතර ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩිකාවන් අතර එක් වරකට වඩා ලෝක කුසලාන තරගමාලාවකට සහභාගි වී ඇත්තේ සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ පමණි.

ගයන්තිකා මේ වනවිට මීටර් 1500 කාන්තාවන් අතරින් ලෝකයේ හොඳම 56 වැනි තැනට ශ්‍රේණිගත වී ඇත.

දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ තෙවැනි ශ්‍රී ලාංකිකයා වෙයි. ඇයට පෙර නදීකා ලක්මාලි සහ වරුණ ලක්ෂාන් ඒ සඳහා සුදුසුකම් ලැබූහ. දිල්හානි ලේකම්ගේ මේ වනවිට ලෝකයේ හොඳම 36 දෙනා අතරට ශ්‍රේණිගත ව සිටී.

2005 ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ඉසව්ව සඳහා මලල ක්‍රීඩකයෙකු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව අරුණ දර්ශන විසින් වාර්තා කර තිබේ. අවසන් වරට එම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ප්‍රසන්න අමරසේකරයි.

මුලින් 53 වැනි ස්ථානයේ සිටි අරුණ දර්ශන නැවත ශ්‍රේණිගත කිරීමකින් පසු පළමු 48 දක්වා උසස් කර ඇත. මීටර් 400 කේවල ඉසව්ව සමඟින් මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වද අරුණ දර්ශන නියෝජනය කරයි.

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ගයන්තිකා අරුණ සහ දිල්හානිත්

ඔහු සමග රාජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරති. ඒ අනුව බුඩාපෙස්ට් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා මෙවර සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන දෙවන විශාලතම කණ්ඩායම වේ. මෙවර පැවැත්වෙන්නේ 19 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment