නව දෙනකු මැරූ සර්බියානු සිසුවාගේ මවුපියෝත් අත්අඩංගුවට

449

මුළු මහත් සර්බියාවම කම්පනයට පත් කරමින් එරට ප්‍රාථමික පාසලක සිසුන් 08 දෙනකු ඇතුළු 09 දෙනකු වෙඩි තබා මරා දැමූ 14 හැවිරිදි සිසුවා එම වෙඩි ප්‍රහාරය සති ගණනක සිට සැලසුම් කර ඇති අතර වෙඩි තබා මරා දමන අයගේ ලැයිස්තුවක්ද සකස් කරගෙන සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් නගරයේ පිහිටි “ලඩිස්ලාව් රිබ්නිකර්” පාසලේ ඉකුත් 03දා උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් 08 දෙනකු හා පාසලේ ආරක්ෂක නිලධාරියකු මියගොස් ඇති අතර තවත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධිය සැළවීමත් සමගම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීහු අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිසුවාගේ දෙමව්පියන්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සිය පියා සතු නීත්‍යානුකූලව හිමිකාරිත්වය ලබා ගෙන ඇති තුවක්කුවකින් වෙඩි තැබීම සිදු කර ඇති සැකකාර සිසුවා එම ප්‍රහාරයට පෙර සිද්ධිය සිදු වූ ස්ථානයට දෙතුන් වතාවක් සිය පියා සමග ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගිය සිසුන් 08 දෙනාගෙන් 07 දෙනකුම සිසුවියන් වන අතර තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිසෙන් 06 දෙනකු සිසුන් වන අතර එක් ගුරුවරයකුද ඒ අතර සිටී. ඔවුන්ගෙන් සිසුන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වී තිබේ. මෙම වෙඩි තැබීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment