බුද්ධගයාව බේරාගත්තාක් මෙන් කතරගමත් බේරා ගනිමු

1566

සුප්‍රසිද්ධ කුඩු මුදලාලි කෙනෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් සිය පුතාගේ අපලයක් උදෙසා රුහුණු කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් 37 ක් බර රන් තැටියක් අතුරුදන්වීම නිසා මේ රටේ දෙවියන් අදහන බැතිමතුන් අතර විශාල කැළඹීමක් ඇති විය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාල වූ සොමිපාල රත්නායක සහ එම දේවාලයේ ගබඩාව භාර සමන් ප්‍රියන්ත නමැති චූටි කපුවා පොලිසියට අවශ්‍යව තිබිණ. එසේ තිබියදී චූටි කපුවා පොලිසියට භාර විය. ඉන් පසු රන් තැටිය අතුරුදන් වුණාක් මෙන් ප්‍රධාන කපුවා වූ සොමිපාල රත්නායක අතුරුදන් විය. ඔහු අතුරුදන් වූ බව කියමින් ඔහුගේ දියණියන් දෙදෙනා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. කතරගම දේවාලයට රත්තරන් සහ මුදල් ලැබෙන්නේ අද ඊයේ සිට නොවේ. මෙය දශක ගණනාවක් තිස්සේ සිදුවිය. මේ අනුව, අප හිතන හැටියට කතරගම දේවාලයට බිලියන ගණන් මුදල් ද, ටොන් ගණනින් රත්තරන් ද පූජා කරන්නට ඇති. මේ පූජා භාණ්ඩවලින් අඩුම ගණනේ රත්තරන් කිලෝ එකක්වත් ගබඩාවේ තිබේද යන්න සොයා බැලිය යුතු ය. කතරගම දේවාලයේ කපුරාලලා සහ ඇතැම් බස්නායක නිලමේලා දරමිටියක් සේ එකට තබා බැඳිය හැකි හොරු රැළකි. කතරගමට ලැබුණු වස්තුව නිලමේලා සහ කපුවන් අතර බෙදා ගන්නා ලද්දේ සීට්ටු ක්‍රමයකට ය. මේ සීට්ටුවට අනුව පළමුවැනි මාස හයේ දේවාලයේ ආදායම කපුවන්ට හිමි විය. දෙවැනි මාස හයේ ආදායම බස්නායක නිලමේලාට හිමි විය. මේ කාරණය මේ ආකාරයෙන් දිගින් දිගටම සිදුවෙමින් පවතිද්දී කසිප්පුපොළට පොලිසියෙන් පැන්නාක් මෙන් ඩිෂාන් ගුණසේකර නමැති බස්නායක නිලමේ කෙනෙක් කතරගම දේවාලයේ බලය අතට ගත්තේය. ඊළඟට ඔහු සම්පූර්ණයෙන් ම කතරගම දේවාලය ශුද්ධ කිරීමට පටන් ගත්තේය. ඔහු කපුවන් සමග හැප්පෙන්නට පටන් ගත් අතර පූජා වට්ටිවලට සල්ලි නො තබන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය. කපුවන් සහ ඩිෂාන් ගුණසේකර අතර යුද්ධය එහි අවසාන කොටසට එළඹෙද්දී අතුරුදන් වූ රන් තැටිය පිළිබඳ කතන්දරය පත්තු විය. රන් තැටිය පිළිබඳ ඉතා අපකීර්තිමත් කටඋත්තරයක් චූටි කපුවා විසින් කරනු ලැබ තිබේ. මෙය සම්පූර්ණයෙන් හෙළි වූ දවසට කපුවන් වැඩි හරියකට අමුඩ ගසාගෙන කතරගම හන්දියේ ගමන් කිරීමට සිදුවනවා ඇත.

මේ අතර කතරගම දේවාලය පිළිබඳ තවත් ආරංචියක් ලැබී තිබේ. එනම් බැතිමතුන් පූජා වට්ටිවලට තබන පඬුරු මුදල් 50% කින් පමණ අඩු වී ඇති බවය. දේවාලයේ කපු රැළ දේවාලය ශුද්ධ කරන බව මේ රටේ ජනතාව හරියටම දැන ගත්තේ දැන් ය. පූජා වට්ටිවලට මුදල් තබනවා වෙනුවට මහා දේවාල පරිශ්‍රයේ පිහිටා ඇති මහරගම පිළිකා රෝහල සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම ඉහළ ගොස් තිබේ. ඒ අතර මහා දේවාලයට ගොස් කපුවන් හමුවී යාතිකා කිරීම වෙනුවට කිරිවෙහෙර පසුපස පිහිටි දේවාලයට හා අභිනවාරාම දේවාලයට යෑමට බැතිමතුන් පටන් ගෙන තිබේ. කතරගම හොර රැළ එම දේවාලයට කරන ලද අපරාධය මේ රටේ ආගමික සංස්කෘතියට ලොකු පහරක් එල්ල කර ඇත. දෙවියන් අදහන ජනතාවට සිනහවීමට බලාගෙන සිටින රැඩිකල් පිරිස සහ හිඟන යූ ටියුබ් හැතිකරය ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. පසුගියදා බුදුන් වහන්සේගේ ධර්මය අපහාසයට ලක්කරමින් යූ ටියුබ්කාරයන් කීපදෙනෙක් ම වැඩසටහන් සම්පාදනය කර තිබිණි. ඒ අතර බුද්ධ ශරීරය අවමානයට ලක්කෙරෙන යූ ටියුබ් වැඩසටහන් ද තිබිණ. මෙසේ කරන අය අත්අඩංගුවට ගැනීමේදී පැහැදිලිවම පෙනී යන කාරණයක් වන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම්වල විශාල වශයෙන් මුදල් තිබෙන බව ය. බුදුදහමට පහර දෙන අන්තිම හිඟන යූ ටියුබ්කාරයාගේ ගිණුමේ පවා රුපියල් ලක්‍ෂ 25 ක් තිබිණ. මේකා කිසිදු රස්සාවක් කරන්නේ නැත. එසේ නම් ඔහුගේ ගිණුමට ලක්‍ෂ 25 ක් ආවේ ඔහු කළ කවර සේවයක් සඳහා ද? අපගේ වැටහීම නම් කතරගම සොමිපාලලාගේ සොමිය දෙවියන් විසින් ම බැක් ෆයර් කරන ලද බව ය. අප කොතරම් නෑ කීව ද පාරභෞතික ක්‍රියාදාමයන් සතුව අමුතු බලයක් තිබේ. මේ බලය හැකි තරම් යටපත් වී තිබුණ ද එක් අවස්ථාවකදී පුපුරා යයි. කතරගමට පිදූ රන් තැටිය එහි සිටින හොරුන්ට එරෙහි බෝම්බයක් විය. මේ බෝම්බය පත්තුවීම නිසා සොමිපාල රත්නායක ආගිය අතක් නැත.

ආසියාවේ තිබෙන දේවාල අතර හොඳම දේවාලයක් සේ රුහුණු කතරගම මහා දේවාලය සැලකේ. ඉන්දියාවේ තිරුපති දේවාලය තරම් එය විශාල නැත. ඉන්දියාවේ තිරුපති දේවාලයට තරම් කතරගම දේවාලයට සල්ලි නැත. තිරුපති දේවාලයට දෛනිකව රත්තරන් කිලෝ ගණනින් සහ සල්ලි ටොන් ගණනින් පරිත්‍යාග වශයෙන් ලැබේ. ඒවා සොරකම් කිරීමට කිසිදු ආකාරයකින් නොහැක. එසේ ලැබෙන පරිත්‍යාග ගැන තිරුපති දේවාලයේ භාරකාර මණ්ඩලය ද, වෙනත් ස්වාධීන කණ්ඩායම් ද ඇස ගසාගෙන සිටිති. එහෙත් කතරගම දේවාලයේ එවැනි තත්ත්වයක් නැත. එයට ලැබෙන පරිත්‍යාගවලට ඇස ගසාගෙන සිටින්නේ කපුරැළ සහ නිලමේලා පමණි. කතරගම දේවාලයේ සමස්ත කපුරැළටම විශාල වශයෙන් ධනය තිබේ. මහ මන්දිර වැනි ගෙවල් තිබේ. ඇතැම් කපුවන් විවාහ වී සිටින්නේ ප්‍රසිද්ධ නිළියන් සමඟය. මේ සියල්ල මුදල් මත පවතී. කතරගම දේවාලය බේරා ගැනීම සඳහා ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම මේ දේවාලයට ආදරය කරන සමස්ත ජනතාවගේ වගකීම වන්නේ ය. බස්නායක නිලමේ වන ඩිෂාන් ගුණසේකර හොරුන්ට එරෙහිව ගහන ගේම අත්නොහැරීම ගැන අප තුළ ඇත්තේ සතුටකි. ධර්මපාලතුමා ඉන්දියාවට යන විට බුද්ධගයාව තිබුණේ හින්දු පූසාරිලා අතේය. ‘බුද්ධගයාව බේරාගනිව්’ යනුවෙන් ව්‍යාපාරයක් දියත් කළ ධර්මපාලතුමා අන්තිමේදී එය නැවත වතාවක් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කළේය. කතරගම දේවාලය බේරා ගැනීමට ද දැන් අපට අවස්ථාව සැලසී තිබේ. අපි ඉන් ප්‍රයෝජන ගනිමු.

advertistmentadvertistment
advertistmentadvertistment