සාම්පල පරීක්‍ෂාවෙන් නුසුදුසු වූ පෝර තොගය සිංගප්පූරුව හරහා දිවයිනට එනවා – ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති

214

සාම්පල් පරීක්‍ෂාවේදී දෙවරක් අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වූ ආනයනික පොහොර තොගය මේ වන විට සිංගප්පූරුව හරහා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් තිබෙන බව ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (3දා) පැවැසීය.

කිලෝ 93000 ක පොහොර තොගය රැගත් නැව ඉදිරි දින දෙක තුන ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බවද මෙම පොහොර තොගය චීනයෙන් නොගෙන සිටීමට නොහැකි වන ලෙස සූක්‍ෂමව නීතියට හසුනොවන ලෙස ගනුදෙනුව සිදුවී ඇතැයිද ඔහු කියා සිටියේය.

2021 මහ කන්නයේ දී වී ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර රට තුළ ප‍්‍රමාණවත් ලෙස නොමැති නිසා කාබනික පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගත් තීරණයට අනුව මෙම පොහොර තොගය රටට ගෙන එයි.

ඩොලර් මිලියන 63 ක් වටිනා මෙම පොහොර තොගය ආනයනය කිරීමට පෙර ශාක නිරෝධායනයෙන් සහ ජාතික ප‍්‍රමිති ආයතනයේ රසායනාගාරවලින් සිදුකළ සාම්පල පරීක්‍ෂාවේදී එහි අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වී තිබේ.

එම නිසා මෙම පොහොර තොගය මහ කන්නයේ වී වගාව ඇතුළු වෙනත් බෝග සඳහාද නුසුදුසු බවට තහවුරු වීම නිසා ගොවීන්ට ලබාදීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම පොහොර මුලින්ම අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු වියළි කලාපයේ වී වගාව සඳහා යෙදවීමට සැලසුම් කර තිබූ බවත් ඒ ආකාරයෙන් වී වගාවට මෙම ක්‍ෂුද්‍ර ජීවීන් සහිත පොහොර යොදනු ලැබුවහොත් මෙරට වී ගොවිතැන විනාශ කිරීමේ ආරම්භය මෙය විය හැකි බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment