මීනගයා බබාගේ මවුපියන්ට සුබ මංගලම්!

581

කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබිය දී පසුගිය 10 වැනිදා මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුළ දමාගොස් තිබිය දී සොයාගත් සිඟිති දරුවා එම දරුවාගේ මවට හා පියාට භාරදෙන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (17 දා) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය.

ඊයේ (17 දා) දිනය ඇතුළත එම තරුණ මව හා පියා නීත්‍යානුකූලව විවාහ කරදීමට පියවර ගන්නා බවත් ඉදිරියේ දී එම යුවළට හා දරුවාව රැකබලා ගැනීමට දෙපාර්ශ්වයේම වැඩිහිටියන් එකඟවී ඇති බවත් පවසයි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම සැකකරුවන් රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට ද නියෝග කළේය. ලබන 21 වැනිදා උදෑසන 9.00ට රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්වී තිදෙනාගේම රුධිර සාම්පල ලබාදීමට පියවර ගන්නා ලෙසට ද එම සැකකරුවන්ට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඩී.එන්.ඒ. වාර්තා තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද රස පරීක්‍ෂකවරාට නියෝග කළේය. අධිකරණය පසුගිය 15 වැනිදා කර තිබූ නියෝගයක් අනුව පරිවාස නිලධාරිවරයා විසින් අධිකරණයට පරිවාස වාර්තාවක් ඉදිරිපත් කොට තිබිණි. එම පරිවාස වාර්තාව අනුව එම යුවළ නීත්‍යානුකූලව විවාහ වී දරුවා රැකබලා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවට සහ එම දරුවා රැකබලා ගැනීමේ හැකියාවක් ඇති බවට ද අධිකරණයට කියා තිබිණි.

එම යුවළ විවාහ වීමෙන් අනතුරුව මසකට වරක් හෝ එම නිවසට ගොස් තොරතුරු සොයා බැලීමට පියවර ගන්නා ලෙසට ද බණ්ඩාරවෙල පරිවාස නිලධාරිවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම නඩුව ලබන ජුනි 2 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

නීතිඥ කසුනි හේරත් මෙනවිය, නීතිඥ ඩයනි ගුණරත්න මහත්මිය හා ජ්‍යෙෂ්ඨ නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment