මනුතාපයේ මහා මිනිසා වික්ටර් හියුගෝ

381

පෙබරවාරි 26 වන දිනට යෙදෙන ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝ ගේ 221 වන ජන්ම දිනය නිමිත්තෙනි

සියලුම මිනිසුන්ගේ නිදහසට අගෞරව කිරීමට ප්‍රමාණවත් වන්නේ පෘථිවියේ එක් වහලෙකු පමණි. එබැවින්, වහල්භාවය අහෝසි කිරීම මේ මොහොතේ චින්තකයන්ගේ උත්තරීතර ඉලක්කය යි.’

මනුතාපයේ මහා මිනිසා වික්ටර් හියුගෝ

ඒ, වහල්භාවය සහ මරණ දඬුවම මෙලොවින් තුරන් කිරීම සඳහා සිය ජීවිත කාලය තුළ ඉමහත් වෙහෙසක් දැරූ ප්‍රංශ කවියකු, නවකතාකරුවකු, ලේඛකයකු සහ නාට්‍ය රචකයකු වූ වික්ටර්-මාරි හියුගෝ හෙවත්, වික්ටර් හියුගෝ කළ ප්‍රකාශයකි.

1802 පෙබරවාරි 26 වන දින මෙලොව එළිය දුටු ඔහුගේ වසර හැටකට වැඩි කාලයක් පුරා දිවෙන සාහිත්‍ය ජීවිතය තුළ ඔහු කාව්‍ය, ගීත, නවකතා, ඉතිහාසය, දේශපාලනය ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කෘති රැසක් ලියා පළකර තිබේ. වික්ටර් හියුගෝ ලොව ශ්‍රේෂ්ඨ සහ ප්‍රකට ප්‍රංශ ලේඛකයකු ලෙස සැලකේ. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කෘතීන් වන්නේ 1862 පළවූ Les Misérables (මනුතාපය) සහ 1831 පළවූ The Hunchback of Notre-Dame (නොත්‍රිදාමයේ කුදා) වැනි කෘතීන් ය. මෙම කෘති සිංහලයට ද නැගී ඇත. ඔහුගේ කාව්‍ය සංග්‍රහ අතර Les Contemplations (මෙනෙහි කිරීම්) සහ La Légende des siècles – The Legend of the Ages (යුග පුරාවෘත්තය) වැඩි ප්‍රසිද්ධියක් උසුලයි.

ඔහුගේ නාට්‍ය අතර වන ‘ක්‍රොම්වෙල්’ නාට්‍යය සහ ‘හර්නානි’ නාට්‍යය මගින් ඔහු රොමැන්ටික සාහිත්‍ය ව්‍යාපාරයේ ඉදිරියෙන් ම සිටියේ ය. ඔහු විසින් කරන ලද Les Misérables සහ Notre-Dame de Paris ඇතුළු ඔහුගේ බොහෝ සංගීත නිර්මාණ ඔහුගේ ජීවිත කාලය තුළ මෙන් ම, ඔහුගේ මරණයෙන් පසුව ද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ අතර, ඔහු තම ජීවිත කාලය තුළ චිත්‍ර 4,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළ බව සඳහන් වේ.

වික්ටර් හියුගෝ කලාකරුවකු පමණක් නොවේ. ඔහු ඉතා ප්‍රගතිශීලී දේශපාලකයකු ද වී ය. තරුණ වියේ දී ඔහු රාජකීයත්වයට කැපවී කටයුතු කළ ද, දශක ගණනාවක් ගතවන විට හියුගෝගේ අදහස් වෙනස් වන්නට පටන් ගත්තේ ය. එහි ප්‍රතිඵලය ලෙස ඔහු නියෝජ්‍ය සෙනෙට් සභිකයකු සහ සෙනෙට් සභිකයකු බවට තේරී පත් වී ජනරජවාදයේ ප්‍රබල ආධාරකරුවකු බවට පත් වී ය.

අසාර්ථක උත්සාහයන් තුනකින් පසුව, 1841 දී ප්‍රංශ ඇකඩමියට ඇතුළත් වන ඔහු ප්‍රංශ කලා හා සාහිත්‍ය ලෝකය තුළ තම ස්ථානය තහවුරු කරගත්තේ ය. ඔහු ප්‍රංශ දේශපාලනයට වැඩි වැඩියෙන් සම්බන්ධ වන්නට වූයේ, ඉන් අනතුරුව ය. ලුවී-පිලිප් රජුගේ නාමයෝජනාවක් මත,

හියුගෝ 1845 දී ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට ඇතුළු වන අතර, එහි දී ඔහු මරණ දඬුවමට සහ සමාජ අසාධාරණයට එරෙහිවත්, පෝලන්තයේ මාධ්‍ය නිදහසට සහ ස්වයං පාලනයට පක්ෂවත් කතා කළේ ය.

මනුතාපයේ මහා මිනිසා වික්ටර් හියුගෝ
Les miserables කෘතිය මනුතාපය නමින්
සිංහලට පරිවර්තනය කළ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලයන්

1848 දී හියුගෝ කොන්සර්වේටිව් නියෝජිතයකු ලෙස දෙවන ජනරජයේ ජාතික සභාවට තේරී පත් වී ය. 1849 දී ඔහු දුක්ඛිතභාවය සහ දරිද්‍රතාව අවසන් කිරීම සම්බන්ධයෙන් කැපී පෙනෙන දේශනයක් කළේ ය. ඔහුගේ අනෙකුත් කතාවලින් ඔහු සර්වජන ඡන්ද බලය සහ සියලු ම දරුවන්ට නිදහස් අධ්‍යාපනය ඉල්ලා සිටියේ ය. මරණ දණ්ඩනය අහෝසි කිරීම සඳහා ඔහු ගෙනගිය අරගලය ජාත්‍යන්තරය තුළ බෙහෙවින් කීර්තියට පත් වී ය.

1851 දී බලයට පැමිණි ලුවී නැපෝලියන් පාර්ලිමේන්තු විරෝධී ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ අවස්ථාවේ හියුගෝ ඔහු ප්‍රංශයේ ද්‍රෝහියකු යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. එසේ ම, ඔහු වික්ටෝරියාස් රැජින විවේචනය කළ ‘ජර්සි’ පුවත්පතට සහය දැක්වීම නිසා ඔහු පිටුවහල් කරන ලදි. ඒ අනුව, ඔහුට 1855 ඔක්තෝබර් සිට 1870 දක්වා වසර පහළොවක පිටුවහල් ජීවිතයක් ගත කරන්නට සිදු වී ය.

පිටුවහල්ව සිටිය දී පවා ඔහු දේශපාලනය සහ ලේඛනය අත නොහැරියේ ය. තුන්වන නැපෝලියන්ගේ අපරාධවලට එරෙහිව ඔහු Napoléon le Petit and Histoire dzun crime (Napoleon the Little and History of a Crime) නමැති ඔහුගේ සුප්‍රසිද්ධ දේශපාලන පත්‍රිකාව ප්‍රකාශයට පත් කළේ ය. ප්‍රංශය තුළ මෙම පත්‍රිකාව තහනම් කර තිබුණ ද, එය ප්‍රබල බලපෑමක් ඇති කළේ ය. Les Misérables (මනුතාපය) ඇතුළු පෙර සඳහන් කළ ඔහුගේ හොඳ ම කෘති කිහිපයක් ම ඔහු රචනා කර ප්‍රකාශයට පත් කරන ලද්දේ, එම පිටුවහල් කාලය තුළ දී ය.

1859 දී තුන්වන නැපෝලියන් සියලු ම දේශපාලන පිටුවහල්කරුවන්ට සමාව ලබා දුන්න ද, හියුගෝ එය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එසේ කළේ එම සමාව පිළිගතහොත්, රජය පිළිබඳ ඔහුගේ විවේචන සීමා කරන්නට ඔහුට සිදුවනු ඇති බැවිනි. තුන්වන නැපෝලියන් බලයෙන් වැටී තුන්වන ජනරජය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණක් 1870 දී හියුගෝ නැවත සිය මව්බිමට පැමිණි අතර, ඔහු ජාතික සභාවට සහ සෙනෙට් සභාවට තේරී පත් වන්නේ ඉන් අනතුරුව ය.

මනුතාපයේ මහා මිනිසා වික්ටර් හියුගෝ

ඔහුගේ බොහෝ කෘති සමකාලීන දේශපාලන හා සමාජීය ගැටලු මෙන් ම, කලාත්මක ප්‍රවණතා බොහොමයක් ද ස්පර්ශ කළේ ය. නිරපේක්ෂත්වයට ඔහු දැක්වූ විරුද්ධත්වය සහ ඔහු අත්පත් කරගත් දැවැන්ත සාහිත්‍ය ජයග්‍රහණ ඔහු ජාතික වීරයකු බවට පත් කළේ ය.

‘වික්ටර් හියුගෝ යනු, තමා වික්ටර් හියුගෝ යැයි විශ්වාස කළ පිස්සු මිනිසෙකි’ යැයි ජන් කොක්ටෝ නමැති ප්‍රංශ කවියා වරක් ප්‍රකාශ කළේ ය. මෙම ප්‍රකාශය, සාහිත්‍යයේ මෙන් ම, ලිංගිකත්වයේ ද දැවැන්තයකු වූ හියුගෝ තුළ පැවැති අසීමිත ජවය සහ විසංවාදී පැවතුම් හකුළුවා දක්වන්නකි.

යෝධ කාය ශක්තියකින් සහ මනා සෞබ්‍යයකින් යුතුවූ වික්ටර් හියුගෝ, දිනකට නිදා ගත්තේ පැය හතරකටත් වඩා අඩු වේලාවකි. දවස ඇතුළත වරින් වර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳකම් පවත්වා, රාත්‍රියෙහි අනියම් බිරියක වෙත කිට්ටු කිරීම ඔහුට එතරම් කාරියක් වූයේ නැත. කෑමට ද රුසියකු වූ ඔහු, කෝසස් කීපයකින් සමන්විත ආහාර වේලක් ගැනීමෙන් පසුව, දොඩම් ගෙඩි හයක් ඒවායේ ලෙලිත් සමග ම කා දැමූ බව කියැවේ.

වයස අවුරුදු 70 දී ඔහු, තියොෆයිල් ගෝටියර් නමැති ලේබකයාගේ අවුරුදු 22ක් වයසැති දියණිය හාද කර ගත්තේ ය. මෙම වකවානුවෙහි ලාබාල නිළියක වූ සේරා බර්නාඩ් (1844-1923) සමඟ ද සබඳකම් පවත්වන්නට ඔහු සමත් වූයේ ය. ‘දිව්‍යමය සේරා’ යන විරුදාවලියෙන් ඔස්කාර් වයිල්ඩ් විසින් ඔසොවා තබන ලද ඒ අසමාන වේදිකා නිළිය ද, එසේ මෙසේ කාන්තාවක් නොව, හියුගෝට ම ගැලපෙන කාන්තාවක වූවා ය. වික්ටර් හියුගෝගේ ‘රෙසින්’, ‘ඩුමා’ යන නාට්‍යවල මෙන්ම, පසු කලෙක ඉමහත් ප්‍රසිද්ධියට පත් නාට්‍යකරුවකු වූ රොස්ටාන්ගේ (1868-1916) නාට්‍යවල ද රඟ පෑ මේ ශ්‍රේෂ්ඨ නිළිය පැරිසියේ මෙන් ම ලන්ඩනයේ රඟහල්වල ද නිතර පෙනී සිටියා ය. එසේ ම, ඇය ඉහළ ම පැළැන්තියේ පෙම්වතුන් අති විශාල සංබ්‍යාවකගේ සුරතලිය බවට ද පත්ව සිටියා ය.

වයස 83 දී ඔහු මිය යන්නට පළමු, අවසාන මාස හතර තුළ ද කාන්තාවන් අට දෙනෙකු සමග පෞද්ගලික සම්බන්ධකම් පැවැත්වූ බව ඔහුගේ දින සටහන්වලින් හෙළි වී ඇත. මේ පුදුමාකාර පුද්ගලයාගේ අවසන් මොහොතට පෙර ඔහුගේ මුවින් පිට වූයේ ‘මට කළු පාට ආලෝකයක් පෙනෙනවා’ යන්න ය. ඒ, අදින් වසර එකසිය තිස් අටකට පෙර එනම්, 1885 මැයි 22 වන දින ය.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment