‘ඩෙංගු ත්‍රී’ රෝගීහු වැඩි වෙති

125

‘ඩෙංගු ත්‍රී’ වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ඇතැයි ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂක පියවර වෙත යොමුවීම ඉතා වැදගත් බව ද ඒ මහතා කීය.

ඩෙංගු වන්, ටු, ත්‍රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වනවිට වැඩි ව්‍යාප්තියට බලපා තිබෙන්නේ ‘ඩෙංගු ත්‍රී’ නමැති වෛරස් කාණ්ඩය වේ.

එහි ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස 2023 මෙම මස (05 වැනිදා) දක්වා කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 30,772 ක් වාර්තා වී තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 4019ක් වාර්තා වී තිබූ අතර, මේ වසරේ අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 7617 දෙනකු වාර්තා වී ඇත.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 89 ක ඉහළ යෑමකි.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 49 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

ඩෙංගු මදුරුවන් සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ලේ උරා බීම සිදුකරනුයේ උදෑසන සහ සවස් කාලයේදී බව සෞඛ්‍ය අංශ පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment