ට්‍රිලියන 5.8ක සංවර්ධනය 73%ක් ෆේල්

399

රුපියල් ට්‍රිලියන 5.8ක් වූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් 2022 වර්ෂය අවසන් වන විට ක්‍රියාත්මක වෙමින් පැවතිය ද ඉන් සංවර්ධන ව්‍යාපෘති සියයට 73ක් සඳහා සිදුකළ ආයෝජනයන් පලදායි අයුරින් උපයෝජනය වී නොමැති බව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘති බොහෝමයක් කාලීන අවශ්‍යතාවන් හඳුනාගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වෙයි. එහෙත් එකී ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාද වීම නිසා එම ව්‍යාපෘතිවල සංවර්ධන ප්‍රතිලාභ ඉලක්කගත ප්‍රජාවට භුක්ති විඳීමේ අවස්ථාව ඇහිරී ගොස් තිබූ බව ද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. මෙම ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාද වීම නිසා මෙකී ව්‍යාපෘති මගින් ප්‍රතිලාභීන්ට ලැබීමට ඇති ඵලදායිතාව ද හින වී තිබූ බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

2022 වර්ෂයේ අවසන් කාර්තුව වන විට ව්‍යාපෘති 261 අතුරින් ඉතා හොඳින් ක්‍රියාත්මක බවට වාර්තා වී ඇත්තේ ව්‍යාපෘති 22ක් පමණි. 2022 වර්ෂයේ අවසන් කාර්තුව අවසන් වන විට සංවර්ධන ව්‍යාපෘති 109ක කටයුතු අවසන් කර එවායේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දිය යුතුව තිබුණි. එහෙත් වැඩ අවසන් කර තිබුණේ ඉන් ව්‍යාපෘති 27ක් පමණක් බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

ඉන් ව්‍යාපෘති 06ක් තම එකඟ වූ විෂය පථය අඩුකර වැඩ අවසන් කළ ව්‍යාපෘති විය. 2022 වර්ෂයේ අවසන් කාර්තුවේ කිසිදු භෞතික ප්‍රගතියක් අත්කර නොගත් ව්‍යාපෘති සංඛ්‍යාව 67කි. ඉන් ව්‍යාපෘති 21ක්ම ණය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති විය. නිරාකරණය කරගත නොහැකි වූ ගැටලු හේතුවෙන් ව්‍යාපෘති 29ක් අත්හිටුවා තිබුණි. එමෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති 192ක් ඉතා දුර්වල මට්ටමේ පැවති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment