මහින්දානන්දගේ ප්‍රකාශය : – බදු හොරු ගැන විමර්ශන කරන්න

114

දේශීය ආදායම් සේවා සංගමය අල්ලස් කොමිසමෙන් ඉල්ලයි

මහා පරිමාණ බදු පැහැර හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයෙන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර, විධිමත් පරීක්ෂණයක් සිදු කර රාජ්‍ය බදු ආදායම අහිමි කිරීමට ක්‍රියා කරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් සේවා සංගමය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි සහ අයි. පී. සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යවන ලද එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා ආයතන ගණනාවක් බදු පැහැර හැරීම සිදු කර ඇති බවටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකී බදු මුදල් අය කර ගැනීමට අපොහොසත් වී ඇති බවටත් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගිය අගෝස්තු 31 දින හා සැප්තැම්බර් මස 08 යන දිනයන්හී දී පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇත.

විශේෂයෙන් ම මෙරට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාර, ඔට්ටු හා සූදු ව්‍යාපාර, ඇඟලුම් ව්‍යාපාර, තේ අපනයන ව්‍යාපාර, මත්පැන් ව්‍යාපාර හා ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් එම ව්‍යාපාරවල පිරිවැටුම, ලාභය හා ගෙවූ බදු සම්බන්ධයෙන් කරුණු රාශියක් ඉහත ප්‍රකාශය තුළින් හෙළිදරව් කරන ලදි. ඇතැම් ව්‍යාපාර විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැර ඇති ආකාරය සම්බන්ධයෙන් ද ඉන් තොරතුරු හෙළිකරන ලදි. එසේම, ඇතැම් ව්‍යාපාර හා පුද්ගලයන්ගේ ආදායම් බදු වාර්තා හා ලිපිගොනු තමා ළඟ ඇති බවට කරුණු ඉදිරිපත් කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයන් තුළින්, රාජ්‍ය බදු ආදායමට බරපතළ හානියක් සිදුවීමට හේතු වී ඇති බදු පැහැර හැරීම් ගණනාවක් සම්බන්ධයෙන් වූ කරුණු රාශියක් හා දේශීය ආදායම් පනතට අනුව රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු සංවේදී ව්‍යාපාරික තොරතුරු හා පුද්ගලික තොරතුරු රාශියක් ඔහු සතුව ඇති බවද තහවුරු වේ.

ඒ අනුව ඔබ කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කර, විධිමත් පරීක්ෂණයක් සිදු කර රාජ්‍ය බදු ආදායම අහිමි කිරීමට ක්‍රියා කරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් සහ විගණකාධිපතිට ද පිටපත් සහිතව මේ ලිපිය යොමු කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment