දුම්රිය පුරප්පාඩු 9000 පනී – ගමන් වාර 50ක් අවලංගු වෙයි

268

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසක් පෙරේදා (31 වැනිදා) විශ්‍රාම ලැබීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 50 ක් අවලංගු කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙම තත්ත්වය තුළ අද (02 දා) සිට දුම්රිය ධාවනය කිරීම ගැටලුසහගත තත්ත්වයක් බවට පත්වී ඇතැයි ද හෙතෙම කීවේය. දුම්රිය කාර්ය මණ්ඩලය 600 කට ආසන්න පිරිසක් පෙරේදා විශ්‍රාම ගත් අතර ඒ අතර දුම්රිය ධාවනයට සෘජුව සම්බන්ධ විශාල පිරිසක් සිටින බවත් හෙතෙම කීය. එසේම මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 9000 ක් වන බව ද හේ කියා සිටියේය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වූ දුම්රිය ගමන් වාර 33 ක්ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක්ද, පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් වාර 7 ක්ද කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 02 ක්ද ඇතුළුව සමස්ත ගමන් වාර 50 ක්ද මේ දක්වා අවලංගු කර ඇතැයි හෙතෙම කීය.

කොන්ත්‍රාත් පදනම මත අමාත්‍යාංශ සේවකයන් රඳවා ගන්නා ලෙස දැනුම් දී ඇතත්, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කාර්ය මණ්ඩලවලටද වැටුප් ගෙවීමක් සිදුකර නැතැයි ඒ මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් පෙරේදා විශ්‍රාම ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයන් කොන්ත්‍රාත් පදනමට අන්තර්ග්‍රහණය කළද ඔවුන් ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

මෙම ගැටලු ගැන අවස්ථා ගණනාවකදී දුම්රිය බලධාරීන් දැනුවත් කළද ඊට නිසි විසඳුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වූ බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතියහොත් දුම්රිය ධාවනය අඩපණවීම වැළැක්විය නොහැකි බව ද වෘත්තීය සමිති පෙන්වා දෙති. අද සිට රැකියාවට එන පිරිස් දැඩි අපහසුතාවට පත්වනු ඇතැයි ද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment