අද ගොවියා රටට බත සපයනවාට වඩා පවුලේ කුසගිනි නිවීමටවත් බැරි මට්ටමට වැටිලා

87

අලුත් සහල් මංගල්‍යයේදී අටමස්ථානාධිපති නාහිමියෝ කියති
රජයෙන් දෙන සහන ගොවීන් සියලු දෙනාට එකසේ ලැබිය යුතුයි
ජනපති අලුත් සහල් මංගල්‍යයට එක්වී…

රජය මගින් ගොවි ජනතාවට ලබාදෙන යම් සහනයක් වේ නම් එය ජාවාරම්කරුවන් අතට නොගොස් ගොවීන් සියලුදෙනාටම එහි වාසිය ලැබෙන අයුරින් සමාලෝචනය කළ යුතු යැයි අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම හේමරතන නාහිමියෝ පැවැසූහ.

ශ්‍රී ලංකාවාසී ගොවි ජනතාව විසින් පසුගිය මහ කන්නයේ වගා කොට ලබාගත් වී අස්වැන්නේ අග්‍ර ඵලය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත පූජා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 57වන වරට සංවිධානය කර තිබූ ජාතික අලුත් සහල් මංගල්‍යය උත්සවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

එම පිංකම අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි විශේෂ පීඨිකාවක් මත තැන්පත් කර තිබූ රන් පාත්‍රයට අලුත් සහල් පිරවීම ප්‍රථමයෙන් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකළ අතර ගොවි ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් විසින් සහලින් පාත්‍රය පිරවීමෙන් පසු අවසානයේ මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් පුරවනු ලැබීය.

අනතුරුව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ විසින් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වෙත සාම්ප්‍රදායිකව සිදුකරන මී පැණි පූජාව සිදුකළ අතර ඒවා ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමීය. මෙහිදී වැඩිදුරටත් අනුශාසනාවක් සිදුකළ අටමස්ථානාධිපති නාහිමියෝ මෙසේද කීය.

“අද වනවිට සාම්ප්‍රදායික ගොවියාට රටට බත සපයනවාට වඩා තමන්ගේ පවුලේ උදවියට තුන් වේල කුස පුරවාගැනීමට බැරි තරම් මට්ටමකට පත්වී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව රාජ්‍ය පාලකයන් මීට වඩා සැලකිලිමත් වන්නට ඕනෑ. විශේෂයෙන් රජරට ප්‍රදේශය ගත්තොත් මෙහි පවතින වැව් පද්ධතිය ඉතාම අබලන් තත්ත්වයට පත්ව තිබෙනවා. අහසින් වැටෙන ජලය ක්‍රමානුකූලව රඳවාගෙන කෘෂි කාර්මික කටයුතු කරගෙන යෑමට ගොවීන්ට අපහසුතා ඇතිවී තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුකර යම් හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. ගොවි ජනතාව ඉලක්ක කරගෙන එය ක්‍රියාත්මක කළත් එහි ප්‍රතිඵලය සමස්ත රටවාසීන්ටම ලැබෙන බව සිහිපත් කළ යුතු වෙනවා.

ඒ වගේම ඔබතුමා නවීන තාක්ෂණය අනුව කෘෂ ිකර්මාන්තය දියුණු කර නූතන තරුණ පරපුරට ආකර්ෂණීය වෘත්තියක් බවට මේ ගොවිතැන ක්‍රියාත්මක නොකළොත් අපට රටක් වශයෙන් බොහෝම ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වෙනවා. ඒ අනුව දැනට මුහුණ දී තිබෙන ප්‍රශ්න තවත් උග්‍රවන බව සිහිපත් කිරීමට කැමතියි. තාක්ෂණය හා ආකර්ෂණය වන ආකාරයට තරුණ පරපුර පොළඹවන සුළු කෘෂිකාර්මික ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. එම වැඩපිළිවෙළ ප්‍රායෝගිකව මේ මහ පොළොවේ පැළ වෙනවද කියා බලන්නත් ඕන.

මෙරට ගොවි ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා දැනටත් රජය විශාල වියදමක් දරනවා. නමුත් මේ කටයුත්ත කරගෙන යෑමට තරම් පහසුකම් සහ අවශ්‍ය දේවල් රජය මගින් සම්පාදනය කර නොදෙන බවට ගොවි ජනතාව මැසිවිලි නඟනවා. වැඩි කරන මුදලට රජය තෘප්තිමත් නෑ වගේම ඒ ලැබෙන සහනය පිළිබඳව ජනතාව තෘප්තිමත් නෑ.

ඒ වගේම වී අස්වැන්න පරිහරණය කරන පාරිභෝගිකයන් සෑහීමකට පත් වෙන්නෙත් නෑ. ඔවුන් කියන්නෙ මේ මිල දරාගන්න බෑ කියලා.”

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“මේ වැඩපිළිවෙළ අභියෝග එක්ක යන ගමනක්. මම දන්නව බොහෝ අය සතුටු කිරීමට අමාරු වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ගොවි ජනතාව වෙනුවෙන් පළමු පෞද්ගලිකරණය කිරීම සිදු කළා. ඒ තමයි රජය සතුව තිබූ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් මේ රටේ ගොවි ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම.

හැබැයි මේ වැඩසටහන කඩාකප්පල් කිරීමට කටයුතු කරන කණ්ඩායම් ඉන්නව. ඒ ගොල්ලන්ට මොනවා කළත් හොඳක් නෑ. ජනාධිපතිතුමාගේ ආශීර්වාදයෙන් මම පොහොර ටික ගෙනාවම ඒව බාල පොහොර කිව්වා. ඒවා කුඹුරට ගැහුවම ගොයම් කහ වෙනව කිව්වා. ඊළඟට පොහොර ගෙනාවම කිව්ව මේවා බර නෑ මේවායින් කොමිස් ගහල කිව්වා. අපට අන්තිමට පොහොර කිරා දීමටත් සිදු වුණා.

චෝදනා විතරක් ඉදිරිපත් කොට මේ රට ගොඩ ගැනීම බැරි බව කියනවා. ඒ නිසා යෝජනා ඉදිරිපත් කොට ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීම තමයි වැදගත් වෙන්නෙ. එම කාරණය ඉෂ්ට නොවීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කිරීම විතරයි ඒ අයට කියන්න තියෙන්නෙ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ශෙහාන් සේමසිංහ, ටී.බී. හේරත්, කාදර් මස්තාන්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන ඉශ්හාක් රහුමාන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක සංජීව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න යන මහත්වරුද සහභාගී වූහ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ නාච්චාදූව – ප්‍රභාත් වනසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment