මාස 17කට පසු විශේෂඥ වෛද්‍ය චමල් අද සිට යළි සේවයේ

1028

මන්දපෝෂණය සහ බාල ඖෂධ ගැන හෙළි කිරීම නිසා වැඩ තහනමට ලක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත අද (08දා) නැවත සේවයේ පිහිටුවීමට නියමිතය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේ චමල් සංජීව මහතා වැඩ තහනමට ලක්වූ අතර ඔහු මාස 17කට පසු නැවත සේවයේ පිහිටුවීම අද සිදුකෙරේ. චමල් සංජීව මහතා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයාද වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් රට හමුවේ සිදුකළ ප්‍රකාශවලින් පසු ඒ මහතා වැඩ තහනමට ලක්විය.

දැනට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්නගත ඉමියුනොගොලොබින් පිළිකා ඖෂධ වංචාවද පළමු වරට හෙළි කළේ චමල් සංජීව මහතා වන අතර ඒ මහතා සේවයට එක් වීමෙන් පසු දැනට පුරප්පාඩු වී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ ධුරයට ඔහු පත් කිරීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

චමල් සංජීව මහතා අද සේවයට වාර්තා කිරීමෙන් පසු සිවිල් සංවිධාන හා එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment