ලංවිම අතිකාල 80%ක් කපලා ඉංජිනේරුවන්ට බලපෑමක් නෑ

208

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හැර අනෙකුත් සේවකයන්ගේ අතිකාල දීමනා සියයට අසූවකින්ම කපා දමා ඇතැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ට පැවසීය.

2015 වසරේදී විදුලි ඉංජිනේරු වැටුප සියයට එකසිය තිහකින් ඉහළ දමා ගැනීමට ක්‍රියාකළ බවත් ඒ බැව් අධිකරණයේදී තහවුරු වී ඇති බවත් ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලයේ මේ වනවිට සමස්ත පාඩුව රුපියල් කෝටි 50,000 ඉක්මවා ඇති බවත් ඊට හේතුවී ඇත්තේ අධික වියදම් සහිත විදුලි ජනන ක්‍රම මගින් විදුලිය නිපදවා ගැනීම බවත් නිශාන්ත මහතා පැවසීය. විදුලිබල මණ්ඩලයේ සමස්ත වියදමින් සියයට අසූහයක්ම ජනන වියදම බවත් ඉතිරි සියයට දහහතරම ආයතනයේ පරිපාලන හා මෙහෙයුම් දුර්වලතා මත සිදුවන පාඩුව බවත් ඒ මහතා කියා සිටියේය.

ආයතනයේ පරිපාලන දුර්වලතා හා අඩු වියදම් ජනන සැලසුම් ක්‍රියාත්මක නොකරමින් විදුලි ගාස්තු ඉහළ දමා ඒ බර ජනතාව මත පටවා ඇතැයි ද නිශාන්ත මහතා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment