වතුකරයේ ජනතාව වෙනුවෙන් ඇමැති ජීවන් තොණ්ඩමන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හඬ නඟයි

336

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගිය 19 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය.

එහිදී එම රජයේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ස්වාමිවරුන් මුණගැසී වතුකරයේ ප්‍රජාව, ආර්ථික කටයුතු, සංහිඳියාව, මානව හිමිකම් සහ ජල ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ යන කාරණා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කර ඇත.

නික් හර්බට් සාමිවරයා සහ ක්‍රීඩා, සංචාරක, සිවිල් සමාජ සහ සමානාත්මතා අමාත්‍ය ස්ටුවර්ට් ඇන්ඩෘ විසින් ඇමැති තොණ්ඩමන් මහතාව උණුසුම් ලෙස පිළිගනු ලැබ තිබේ.

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඇමැති ජීවන් තොණ්ඩමන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හඬ නඟයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඕෆර්ඩ් මහතා සමග ද ඇමැතිවරයා එහිදි සාකච්ඡාවක් පවත්වා තිබේ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී බැරොනස් බාර්කර් මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ වටමේස සාකච්ඡාවකට ඇමැති ජීවන් තොන්ඩමන් මහතා නායකත්වය ලබා දී ඇත. සිය සංචාරයේදී තොණ්ඩමන් ඇමැතිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් වතුකරයේ ප්‍රජාව මුහුණ දෙන අභියෝග, ඓතිහාසික අරගල, ප්‍රජාව විසින් කරන ලද දැවැන්ත සංස්කෘතික හා ආර්ථික දායකත්වය පිළිබඳව ද වතුකරයේ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරෙන මොහොතේ නව ඉඩම් හා නිවාස හිමිකම් වැඩසටහනක් ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ අවස්ථා වැඩිදියුණු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ එහිදී පවසා ඇත. එසේම ඇමැති තොන්ඩමන් මහතා පසුගිය වසරේ මෙරට ඇතිවූ අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ සහ ඉන් පසු රට ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීම මෙන්ම සමාජ ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම සම්බන්ධයෙන් ද පැහැදිලි කර තිබේ. සමාජයේ සෑම අංශයකටම, විශේෂයෙන්ම කාන්තාවන්ට සහ අනෙකුත් ප්‍රජාවන්ට ආරක්ෂාව සහ සමානාත්මතාවය සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති නව සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සහ නීති හඳුන්වාදීම පිළිබඳ ඔහු එහිදී අවධාරණය කර ඇත. විශේෂයෙන්ම උද්ධමනය පාලනය කිරීම සහ දිගුකාලීන අර්බුදයක් මඟහරවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වේගවත් ප්‍රගතියක් ලබා ඇති බවත් හෙතෙම එහිදී පැවැසීය. මෙහිදි මෙරට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ගෝලීය වශයෙන් බෙදාහදා ගත හැකි වටිනා පාඩම් ලබා දෙන බව සියලු දෙනාම එකඟ වී තිබේ. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය ජල උපයෝගිතා අතර ශක්තිමත් සහයෝගීතාවක් සඳහා අමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇති අතර, විශ්වීය ජලය සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා පුද්ගලික අංශය සඳහා පුළුල් කාර්යභාරයක් පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇත.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment