කල්ගතවූ තුවාල සුවවීම කඩිනම් කරන අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය

780

සිරුරේ කොතැනක හෝ තුවාලයක් ඇතිවූ විට අප කොයි කවුරුත් උත්සාහ ගන්නේ එය හැකි ඉක්මනින් සුවපත් කර ගැනීමටය. තුවාලයක් සුවවීම පමාවන විට ඊට විෂබීජ ආසාදනය විය හැකිය. එවිට ඉතා කුඩාවට ඇතිවූ තුවාලය බරපතළ තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතිවේ.

ඇතැම් පුද්ගලයින්ගේ සිරුරේ හට ගන්නා තුවාල සඳහා සාමාන්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් එය සුවවීම කල්ගතවේ. විශේෂයෙන්ම දියවැඩියාව, නහර ගැටගැසීමේ රෝගය, වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වලවීම ආදී රෝග වලට ගොදුරුවූ පුද්ගලයින්ගේ තුවාල සුවවීම කල් ගතවේ.

මෙවැනි පුද්ගලයින්ට තුවාල සුවවීම සඳහා සාමාන්‍ය ප්‍රතිකාර ලබා දුන්නද සුවවීමට කාලයක් ගතවේ. මෙම තත්ත්වය නිසා තුවාලයට ඉතා පහසුවෙන් විෂබීජ ඇතුළුවිය හැකිය. තුවාලය වණවෙලා, පණුවො ගහලා, ඔඩු දුවලා ආදී ලෙසින් පවසන්නේ මෙලෙස සුවවීම කල්ගතවූ තුවාලවලදීය. එවැනි කල්ගතවූ තුවාල ඉක්මනින් සුවකිරීම සඳහා භාවිතා කරන නවීන ප්‍රතිකාර ක්‍රමයක් වනුයේ අඩුපීඩන ඔක්සිජන් ප්‍රතිකාරයයි. (Hyperbaric oxygen Thergpy)

මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා මගින් සුවවීම කල්ගතව පවතින තුවාල ඉතා ඉක්මනින් සුවවීමට අවශ්‍ය පරිසරය සකස්වේ.

අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය

තුවාලයක් සුවවීම සඳහා එම තුවාලය වෙත හොඳින් රුධිරය ගමන් කළ යුතුය. නහර ගැට ගැසීම, දියවැඩියාව, වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වලවීම ආදී රෝග තත්ත්ව පවතින විට රුධිර ගමනා ගමනයේ දුර්වලතා සහ රුධිර සංයුතියේ වෙනස්කම් නිසා තුවාලය වෙත රුධිරය සමඟ ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අඩුවේ. එනිසා සාමාන්‍ය පරිසරයේ ඇති පීඩන හමුවේ පෙනහළු වෙත හුස්ම ගැනීම මගින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අධි පීඩන ඔක්සිජන් ප්‍රතිකාරය මගින් දෙගුණ කරනු ලබයි. එවිට රුධිරය සමඟ හොඳින් සිරුර පුරා ඔක්සිජන් ගමන් කිරීම නිසා තුවාලය සුවවීම කඩිනම් වීමට අවශ්‍ය පරිසරය සකස්වේ.

මෙම ප්‍රතිකාරය කිරීමේදී රෝගියා විශේෂ අධිපීඩන යන්ත්‍රයක් වෙත ඇතුළු කරනු ලබයි. ඉන්පසු ඔක්සිජන් සහිත වායු පීඩනය ක්‍රමානුකූලව දෙගුණයක් බවට පත් කරනු ලැබේ. එක් ප්‍රතිකාර වාරයකදී පැය එකහමාරක පමණ කාලයක් රෝගියාට මෙම වායු පීඩන යන්ත්‍රය තුළ හුස්ම ගැනීමට සලස්වනු ලබයි. ඉන් රෝගියාගේ පෙනහළු හරහා රුධිරය වෙත ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවේ. එසේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවීමෙන් රතු රුධිරානු සමඟ පමණක් නොව රුධිරයේ ඇති ජලය සමඟද ඔක්සිජන් මිශ්‍රවී සිරුර පුරා ගමන් කරයි. මෙලෙස අඛණ්ඩව දින හතක් අධි පීඩන ඔක්සිජන් ප්‍රතිකාරය ලබාදීමේදී සුවවීම පමාවී ඇති තුවාල සුවවීම කඩිනම් වීමට පටන් ගනී.

එසේම මෙම ප්‍රතිකාරය සිදු කරන අතරතුර තුවාලය සුවවීම සඳහා බාහිරින් සිදුකරන බෙහෙත් ආලේප කිරීම ආදී ප්‍රතිකාරද සිදු කරනු ලබයි. සාමාන්‍යයෙන් අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය සිදුකිරීම ආරම්භ කර දින තුනක් පමණ ගතවන විට මෙතෙක් සුවවීම පමාවූ තුවාල සුවවීම කඩිනම් වනු රෝගියාට පවා හොඳින් දැකගත හැකිවේ. මෙම ප්‍රතිකාරය මගින් සුවවීම කල්ගතවී ඇති දද, කුෂ්ඨ පවා සුව කළ හැකිය.

අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය නොකරන රෝගීන්

කුඩා දරුවන් සහ පෙනහළු හුස්ම ගැනීමේ ගැටලු සහිත රෝගීන්ට මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ නැත. එනිසා මෙම ප්‍රතිකාරය ලබාදීමට පෙර පෙනහළු ක්‍රියාකාරිත්වය සම්බන්ධ පරීක්‍ෂාවක් සිදු කරනු ලබයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 077 – 8899021 ඇමැතිය හැකිය.

කල්ගතවූ තුවාල සුවවීම කඩිනම් කරන අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය

තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්, තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය, රද්දොළුගම.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment