අරගලයේ කලාකරුවන්ට පූර්වාදර්ශයක් වූ ලේඛකයා ව්ලැද්මීර් කරලෙන්කෝ

147

දෙසැම්බර් 25 ට යෙදුණු ව්ලැද්මීර් කරලෙන්කෝගේ 101 වැනි ගූණානුස්මරණය වෙනුවෙනි.

පාසල් යන්නට බැරි වූ, ගුරුවරයකුගෙන් ඉගෙන ගන්නට අවස්ථාවක් නොලැබුණු, මහ ගත්කරු මැක්සිම් ගෝර්කිට ඒ සියල්ලටම හරියන්නට සාහිත්‍ය ලෝකයේදී ඉතා වටිනා ගුරුවරයෙක් ලැබුණේය.

ඒ ව්ලැදිමීර් කරලෙන්කෝ ය.

කරලෙන්කෝට තමාගේ සම්පූර්ණ ස්වයං චරිතාපදානය රචනා කරන්නට ප්‍රථම අපගෙන් සමුගන්නට සිදුවුණ ද, ඔහු ගැන අප දන්නා සුළු කරුණු ප්‍රමාණය වුවද, මෙම චරිතය කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ජනිත කරවන්නට සමත් වෙයි.

එයට ප්‍රධානම හේතුව ලෙස අපට පෙනී යන්නේ ස්වකීය සාහිත්‍යමය හැකියාව තරමටම පෞද්ගලික දිවි පෙවෙත ද, මේ තරමටම ජනතා අරගලය වෙනුවෙන් කැප කළ මහා ලේඛකයකු අපට විශ්ව සාහිත්‍යයෙන් සොයා ගත නොහැකි බැවිනි. සිය ජීවිත කාලය මුළුල්ලේම ඔහු සමස්ත සාර් රුසියාවටම එරෙහිව සටන් කළේය. සිය නිසඟ ලේඛන හැකියාව සුළඟ හමන අත බලා කදිමට මෙහෙයවා ගන්නා ඊනියා මානව හිතවාදීන්ට නිසි මග තෝරා ගැනීම සඳහා පූර්වාදර්ශයක් කර ගත යුතු ගුරුවරයා කරලෙන්කෝ යයි අප කියන්නේ එහෙයිනි. ඔහු වරක් පවසා තිබුණේ සාහිත්‍ය කෘතීන් නිර්මාණය කිරීම සඳහා තමා විසින් භාවිතා කර ඇත්තේ සිය නිසඟ හැකියාවෙන් අඩක් පමණක් බවත්, ඉතිරි අර්ධය කැප කරනු ලැබුවේ මහ පොළවට බැස ජනතාව දැනුවත් කරනු සඳහා බවත් ය. අසාධාරණයට එරෙහිවීමට නම් ජනතාව දැනුවත් විය යුතුය යන්න කරලෙන්කෝගේ ආදර්ශ පාඨය වූයේය. 1853 ජූලි මාසයේදී යුක්රේනයේ ශිටොමීර්හි උපත ලැබූ කරලෙන්කෝ ගේ සම්පූර්ණ නම ව්ලැදිමීර් ගලාක්ටියොනොවිච් කරලෙන්කෝ ය. නීතිය නොනැමූ අවංක විනිශ්චයකාරවරයකු වූ ඔහුගේ පියා මෙලොවින් සමු ගත්තේ කරලෙන්කෝ පහළොස් වැනි වියේ පසු වෙද්දීය. පියා ජීවත්ව සිටියදී සිය වැටුපට වැඩි යමක් හරි හම්බ නොකළ හෙයින්, ඔහු ගේ අභාවයෙන් පසු කරලෙන්කෝ පවුලට මුහුණ දීමට සිදු වූයේ ආර්ථීක වශයෙන් දුෂ්කර කාලපරිච්ඡේදයකටය. නමුත් සිය මවගේ අපරිමිත උත්සාහය ද මුල් කර ගනිමින් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා යොමු වීමට කරලෙන්කෝ තීරණය කළේය. ඒ සඳහා රුසියාවේ පීටර්ස්බර්ග් නුවර බලා ගිය කරලෙන්කෝට සිය අනාගතයට මුහුණ දීම සඳහා ඒ මොහොතේ සාක්කුවේ තිබුණේ රූබල් දාහතක මුදලක් පමණි.

මේ නිසා අධ්‍යාපනය ලබන අතරතුරදීම ජීවත්වීම උදෙසා ද අනවරත අරගලයක යෙදීමටද තරුණ කරලෙන්කෝට සිදු වූයේය. පීටර්ස්බර්ග් නුවර ගත කළ පළමුවන වසරේදී ජීවත්වීම උදෙසා ඕනෑම දෙයක් කළ හෙතෙම, දෙවන වසරේදී ළමුන් උදෙසා වූ උද්භිද විද්‍යා පාඩම් පොත්වල සිතුවම් වර්ණ ගැන්වීය. තුන්වන වසරේදී ඔහු දිවි රැක ගත්තේ සෝදුපත් කියවන්නෙකු ලෙසිනි.

මතු යම් දිනක රැකියාවක් ලෙස වනාරක්ෂක නිලධාරියෙකු විය යුතු යයි කල්පනා කළ හෙතෙම මේ කාලයේ මොස්කව්හි පෙට්‍රොව්ස්කයා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමට සමත් වූයේය. ඉක්බිති සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා ශිෂ්‍යාධාර ක්‍රමය යටතේ මුදලක් ලැබුණු අතර, බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම පිණිස අඩිතාලම වැටුණේය. නමුත් ඔහුට එසේ ගමන් කළ හැකි වූයේ සිය අධ්‍යාපන ආයතනයේ තුන්වන වසර දක්වා පමණි.

මේ තත්ත්වයට මුල් වූයේ 1876 දී රුසියාවේ මතු වෙමින් ආ දේශපාලන අරගලය සඳහා ශිෂ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වය අඩපණ කිරීමට විශ්වවිද්‍යාලය, පොලීසිය සමඟ එකතුව කටයුතු කරන්නට පටන් ගැනීමය.

මෙම අවනීතික තත්ත්වයට එරෙහිව ඔහු විසින් පෙත්සමක් ලියන ලද අතර එහි පළමු අත්සන තබනු ලැබුවේද ඔහු විසින්මය. පෙත්සම බාරදීමේ අවිහිංසාවාදී ක්‍රියාව සාර්වාදි පොලීසිය විසින් කැරලි ගැසීමක් ලෙස වාර්තා කරන ලදින් කරලෙන්කෝ විශ්වවිද්‍යාලයෙන් නෙරපන ලදුව ඔහුව මොස්කව් නගරයෙන් ද පිටුවහල් කෙරිණ.

එය කරලෙන්කෝ අරබයා සිය ජීවිත කාලය මුළුල්ලේ පැවැතුණාවූ මර්දන ක්‍රියාවලියක ආරම්භය විය.

ඉක්බිති විවිධ සිර ගෙවල්වලද, තවත් දශකයක් පමණ කාලයක් ඉතා දුෂ්කර ගම්මාන වූ ගුර්බේනියාවේ, බෙර්යොසොව්ස්කියෙ හා යකුටියාවේ අම්ගා නමැති ගම්මානවල ද ජීවිතය ගෙවා දමන්නට ඔහුට සිදු වූයේය.

ඔහුට සිය පිටුවහල් දිවිය ගත කිරීමට සිදු වූ යකුටියා ප්‍රදේශයේ විසූ යකුටි ජාතිකයෝ කරත්තයක් පවා දැක නැති අර්ධ වනචාරී පිරිසක් වූහ. කරලෙන්කෝට ලේඛකයකු වශයෙන් මෙහිදී ලැබුණු සුවිශේෂී අවස්ථාව ලෙස පෙන්වා දිය හැක්කේ මොස්කව්වල ජීවත් වූවානම් කිසි දිනක හඳුනාගත නොහැකි වූ විවිධාකාර මිනිසුන් ගණනාවක් අධ්‍යයනය කිරිමේ අවස්ථාව උදාවීමය. පසු කලෙක ඔහු විසින්ම සිය ජීවිතයේ “රුදුරු ගීත සමය” ලෙස හඳුන්වා දුන් මෙම පිටුවහල් දිවිය 1885 නිමාවට පත් වූයේ ඔහු බොහෝ පරිපූර්ණ සාහිත්‍යධරයකු බවට පත් කරවමිනි.

නමුත් කරලෙන්කෝ නාමයට වූ බිය තවමත් පහ නොවූ පාලකයෝ ඔහුට මොස්කව්, පීටර්ස්බර්ග් ආදී ප්‍රධාන පෙළේ නගරවලට පැමිණීම තහනම් කළහ. මේ නිසා නිශ්නිනොව්ගොරොද් නගරයේ නතර වූ හෙතෙම සාහිත්‍ය නිර්මාණකරණයට එළඹුණේය. එහිදී ඔහු විසින් රචනා කරන ලද “මකාර්ගේ සිහිනය” නමැති දිගු කෙටි කතාව කරලෙන්කෝ නාමය රුසියාව පුරා ප්‍රචලිත කිරීමට සමත් වූ අතර, අතිශයින් පීඩාවට පත් රටේ සාමාන්‍ය ජනතාව කෙරෙහි ඔහු තුළ තිබූ ලැදියාව කෙතෙක්දැයි කදිමට පිළිබිඹු කරවන්නක්ද වූයේය. පිටුවහල්ව ගත කළ කටුක දිවි පෙවෙතේ අත්දැකීම් ඇසුරෙන් රචනා කරන ලද මෙම කෙටිකතාව තුළින් ද්වනිත කරන ලද උපහාසය, එවකට සමාජයේ පැවැති නෛතිකමය, ආගමික, ආර්ථීක සහ දේශපාලනික ව්‍යුහය තුළ ඇති හරසුන් බොළඳ බව කදිමට පෙන්වා දෙන දීප්තිමත් ආලෝක ධාරාවක් බවට පත්වූයේය. ස්වකීය සාහිත්‍යමය කුසලතාව නිසි පරිදි රැක ගනිමින් සමාජ විශ්ලේෂණයක යෙදීමට කරලෙන්කෝ තුළ වූ ශක්‍යතාවය මෙතුළින් මනාව විශද වූ හෙයින් රුසියාවේ විවිධ සමාජ ස්ථරවල පාඨකයෝ මේ සමඟම ඔහු වටා එක් වූහ.

මීට අමතරව ඔහු විසින් ලියන ලද ‘සොකොලිනෙට්ස්’ ‘නරක උන් ඇසුරෙහි, ‘මීනිමරුවා’, “ආලෝකය,“පාස්කු හැන්දැව, ‘මහලු අන්නවිරාල,’ සහ අමුතු එකියක් ආදී කෙටි කතාද ඔහුව සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ තවදුරටත් ස්ථාවර තත්ත්වයකට පත් කරන ලද අතර, සමස්ත රුසියාවේම පීඩාවට පත් මිනිසුන්, ගැහැනුන්, සිසුන්, කම්කරුවන් සහ දරුවන් පිළිබඳව ඒවායින් කියවුණේය.

ඒ නිතර ඔහු සාහිත්‍යකරුවකු වශයෙන් සමස්ත ලෝකය පුරා පිළි ගැනීමට ලක් කරනු ලැබුවේ 1886 දී ප්‍රකාශයට පත් වූ “අඳ වාදකයා” නමැති මාහැඟි නිර්මාණය හේතු කොට ගෙනය. සිංහල භාෂාව ඇතුළු ලෝකය පුරා සෑම භාෂාවකටම පාහේ පරිවර්තනය වී ඇති “අඳ වාදකයා” නමැති නව කතාව ලොව වඩා යහපත් වන්නේ අනෙකුත් මිනිසුන්ගේ යහපත සඳහා කැපවිය හැකි මිනිසුන්ගෙන් බව කියවෙන්නකි.

මේ සමඟම හෙතෙම ඒ වන විට රුසියාවේ ඉමහත් කීර්තියට පත්ව සිටි විශිෂ්ට ගණයේ ලේඛකයන්ගේ නොමඳ සම්භාවනාවට පත් වූ අතර, මැක්සිම් ගෝර්කි ඉතා පැහැදිලිව කරලෙන්කෝ තම සාහිත්‍ය දිවියේ ගුරුවරයා ලෙස සැලකීය. ඔහු කරලෙන්කෝ හැඳින් වූයේ යෞවන ලේඛකයන් හට විශිෂ්ට මඟ පෙන්වන්නෙකු වශයෙනි.

විශිෂ්ට කෙටිකතාකරුවකු වූ ඇන්ටන් චෙකොෆ් සහ ලියෝ ටෝල්ස්ටෝයි ද ඔහුගේ සාහිත්‍යමය භාෂාව මහත් සේ අගය කර තිබේ.

කටුක දේශගුණයකට මුහුණ දෙමින් ගංගාවක් ඔස්සේ ඔරුවකින් යාත්‍රා කළ සංචාරයක් පාදක කර ගනිමින් ලියූ ‘රඟන නදිය’ නම් නිර්මාණය ද රුසියාව පුරා ප්‍රසිද්ධියට පත් විය. එමෙන්ම 1896 සිට 1900 දක්වා රුස්කොයෙ බොගාට්ස්ට්වො සඟරාවේ කතුවරයා වශයෙන් නැගී එන තරුණ ලේඛකයන් වෙනුවෙන් මහඟු මෙහෙයක් ඉටු කළේය. පසු කලෙක ස්වකීය චරිතාපදානය ලිවීම ආරම්භ කළ ද ඔහුට එය සම්පූර්ණ කරගත නොහැකි විය. මෙම කටයුත්තේ දී පමණක් නොව සාහිත්‍ය නිර්මාණකරණයේ දී පවා ඔහු මුල් තැනක් දුන්නේ සිය සහෝදර ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථීක හා දේශපාලන ගැටලු අරබයා පුවත්පත් සඟරා වෙත විවිධ ලිපි ලේඛන සපයමින් සිය පෑනෙන් සටන් වැදීමටය. නමුත් අප පෙරදී සඳහන් කළ පරිදි ඔහු සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇපකැප වූයේ සිය ලේඛන හැකියාව පමණක් ඉස්මතු කර ගනිමින් නොවේ. ප්‍රශ්නයේ ස්වභාවය අනුව, සිය අතපය හතර මෙහෙයවා වැඩ කළ යුතු වූ අවස්ථාවල ඔහු පෑන මේසය මත තබා එළියට බැස්සේ තමා සමඟ තවකෙකු එකතු වෙනවාද නැතිද යන්න ගැන දෙවරක් සිතමින් නොවේ.

මේ තවත් එවන් උදාහරණයකි.

කරලෙන්කෝ නිශ්නිනොව්ගොරොද් නගරයේ වාසය කළ 1891 සහ 1892 අතරතුර එම පළාතම දරුණු සාගතයකින් බැට කන්නට පටන් ගත්තේය. සිය පෑන පසෙකින් තබා හාමතින් බැට කන ජනතාව වෙනුවෙන් ආධාර එකතු කළ කරලෙන්කෝ තන් තන්හි දන් සල් ඇති කරවමින් ජනතාවට කුස ගින්නේ මියයෑමට නොදී රැක ගත්තේය. එසේම මෙම මහා ඛේදවාචකය විශාල දෙයක් නොවන බව හා ගණන් නොගෙන සිටීමට උත්සාහ කළ රජයේ නිලධාරීන්, දේශපාලනඥයින් හා ධනපති ඉඩම් හිමියන්ට එරෙහිව හෙතෙම සටන් වැදුණේය. පළාතේ ආණ්ඩුකාරයාට අභියෝග කළ හෙතෙම ඔහු හා අරගලයක ද යෙදුණේය. පසු කලෙක ‘සාගතයේ වසර’ යනුවෙන් එළිදකිනු ලැබුවේ මෙම කාලපරිච්ඡේදය තුළ ඔහු කළ සටනය.

ප්‍රතිපත්ති ගරුක මිනිසකු වූ කරලැන්කෝ මැක්සිම් ගෝර්කිට හිමිවිය යුතු සාහිත්‍ය සම්මානයක් සාර් රජු විසින් අවලංගු කිරීම හේතු කොට ගෙන, ඊට ප්‍රථම තමාට පිරිනමන ලද එම සම්මානය ද අත් හරිනු ලැබුවේය. ඉන් අනතුරුව කරලැන්කෝ අනුගමනය කරමින් ඇන්ටන් චෙකොෆ් ද තමාට පිරිනමා තිබූ සම්මානය අතහැර දැමීය.

1900 දී සිය නිජබිම වූ යුක්රේනය බලා ගිය කරලැන්කෝ පොල්තාවාවල පදිංචි වූයේය. එහිදි ඔහු තමාගේ ස්වයං චරිතාපදානය ලිවීම ආරම්භ කළ නමුදු ස්වකීය අරගලකාරී දිවි පෙවෙත කිසිසේත්ම වෙනස් නොකළේය. මේ කාල පරිච්ඡේදය තුළ ඔහු විසින් අරඹන ලද ප්‍රබලතම අරගලය වූයේ පිලිනොව් නමින් හැඳින්වූ කෲර නිලධාරියෙකුට එරෙහිව ගෙන ගිය සටනය. මේ අරගලය අතරතුර එකී නිලධාරියා ඝාතනයට ලක් වූ අතර, එකී නිලධාරියාව ඝාතනයට ලක්වීමට අවශ්‍ය පදනම සකසන ලදැයි කියමින් ඔහුව නැවතත් කොටු කර ගැනීමට සාර් පාලනය විසින් කුරුමානම් අල්ලන ලදී. නමුත් මේ මොහොත වන විට ඉහත සිද්ධියට පාදක වූ කෲර නිලධාරියා විසින් කරන ලද අපරාධය පිළිබඳව පොලීසියට හෙළිදරව් වූ බැවින්ද, අන්තර්ජාතික කීර්තියට පත්ව සිටි කරලැන්කෝ ලබා සිටි කිර්තිය නිසා ද ඔහුව අත්අඩංගුවට ගැනීම වැළකී ගියේය.

1919 දී ඇති වී තිබූ ආහාර අර්බුදය හේතු කොට ගෙන ළමයින්ගේ සුබසාධනය සඳහා එක්රැස් කරන ලද මුදල්වල භාරකරුවා වූයේද ඔහුය. මැරයින් දෙදෙනකු එම මුදල් පැහැර ගැනීමේ බලාපොරොත්තුවෙන් කරලැන්කෝගේ නිවසට කඩා වැදුණේ තුවක්කුද අතැතිවය. එහෙත් සිය මහලු විය හා රෝගාතුරභාවයද සැණෙකින් අමතක කළ කරලැන්කෝ තම බිරිඳ සහ දියණිය සමඟ නිරායුධව ඔවුන් හා සටන් කොට ළමුන් දහස් ගණනක් සඳහා වෙන්කර තිබූ එම මුදල් ප්‍රමාණය රැකගැනීමට සමත් විය.

කරලෙන්කෝ නමැති මහා ලේඛකයා එවැන්නෙකි. මේ ආකාරයට ජනතා අරගලයත් නිර්මාණයත් දෙකක් නොව එකක් බව පෙන්වූ වෙනත් ලේඛකයෙකු අපට ඉතිහාසයේ තවත් දක්නට නොලැබෙනු ඇත.

එයට හේතුවක් තිබේ.

ඒ ව්ලැදිමීර් ගලාක්ටියොනොවිච් කරලෙන්කෝ 1921 දෙසැම්බර් 25 දින මෙලොවින් සදහටම සමුගත් බැවිනි.

තිස්ස ප්‍රේමසිරි

අරගලයේ කලාකරුවන්ට පූර්වාදර්ශයක් වූ ලේඛකයා ව්ලැද්මීර් කරලෙන්කෝ

advertistmentadvertistment
advertistmentadvertistment