බිඳුණු හදවත්

766

බිඳුණු හදවත් නමින් නවකතා පොතක් බොහෝ ඉස්සර කාලයේ පළවිය. ඉන්පසු බිඳුණු හදවත් නමින් චිත්‍ර කතා පොතක්ද පළවිය. තුන්වනුව මේ නම සහිතව චිත්‍රපටයක්ද, නාට්‍යයක්ද, ටෙලි නාට්‍යයක්ද, කවි පොතක්ද නිර්මාණය කරන ලදී. හදවතක් ඇඳ එය මැදින් අසමමිතික දැති සහිත ඉරක් ඇන්ද විට එයින් නිරූපණය වන සංඛේතය වන්නේ හදවත බිඳී ගොස් ඇති බවය. මේ අනුව බිඳුණු හදවත් යනු ඉතා සුලබ brand එකකි. ඒ අපටය. හදවත ඇත්තටම බිඳුණු එකාට බිඳුණු හදවත යනු ගිනි ජාලාවකි.

සුද්දන් විසින් මේ රටේ කඳුකරයෙහි ආරම්භ කෙරුණු කෝපි වගාවට කෙලවී ගිය පසු එතැනට ආදේශ වන්නේ තේ වගාවය. එකල ලංකාවෙන් පිටරට ගිය කෝපි ලෝකයේ හොඳම කෝපි වූ බ්‍රසීල කෝපි වර්ග වන Bouebon” Catuai” Acaia” Mundo Novo තරමටම උසස් විය. ලංකාවේ කෝපි වගාව නන්නත්තාර වීමෙන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට ලොකු ආදායම් පාඩුවක් සිදුවිය. මේ නිසා එතෙක් ඉන්දියාවේ වවන ලද තේ මෙරට කඳුකරයටද හඳුන්වා දීමටද තීරණය කරන ලදී. ලංකාවේ පළමුවන තේ වත්ත 1867 දී ස්කොට් ජාතික ජේම්ස් ටේලර් විසින් පටන්ගන්නා ලදී. මේ තේ වත්තට ශ්‍රමය අවශ්‍ය විය. එවිට ටේලර් කෝපි වැවූ කට්ටියට තම වත්තේ වැඩ කිරීමට කතා කළේය. ලංකාවේ කෝපි වවන ලද්දේ සිංහලයන්ම විසිනි. ඒවා රාත්තල තුට්ටු දෙකහමාරක් වැනි සුළු මුදලකට ගැනීමට කෝපි බිස්නස් කළ සුද්දන්ට හැකි විය. කෝපි වගාව සඳහා අති විශාල සෙනඟක් අවශ්‍ය වූයේද නැත. තම වත්තේ කුලියට වැඩ කිරීමට එන ලෙස එතෙක් කෝපි වැවූ සිංහලයන්ට ජේම්ස් ටේලර් කතා කළ කල්හි ඔවුන් කියා සිටියේ තමන් මුදලට වැඩ නොකරන බවත් අත්තමට පමණක් වැඩ කරන බවත්ය. එහි තේරුම මෙසේය; ජේම්ස් ටේලර්ගේ තේ වත්තේ වැඩට සිංහලයෝ එති. ඔවුහු මහන්සි වී වැඩද කරති. ඒ සඳහා මුදලක් අයකරනු නොලැබේ. එහෙත් සිංහලයන් කුඹුරු වැඩකරන කාලයට ජේම්ස් ටේලර්ද ඔහුගේ පවුලේ අයද යාළු සුද්දෝද කුඹුරු වැඩට පැමිණිය යුතුය. මේ කියන ශ්‍රම හුවමාරුව ඇසූ ජේම්ස් ටේලර් ට පිස්සු හැදින. කලිසම් කෝට් ඇඳගෙන කුඹුරට බැස සීසෑම, වතුර බැඳීම, වී ඉසීම, පැළ සිටුවීම යන කාරණා තමන්ට මෙන්ම සෙසු සුද්දන්ටද ඉතාම අප්‍රිය සහගත අත්දැකීමක් වනු ඇතැයි ජේම්ස් ටේලර් කල්පනා කළේය. ඒ අනුව කෙළින්ම ගොස් ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා හමුවූ ජේම්ස් ටේලර් තම වත්තේ වැඩට ඉන්දියානු කම්කරුවන් ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා සිටියේය. මේ අවසරයේ ප්‍රතිඵලයක් වශයෙන් තමිල්නාඩුවේ සිටි නූගත් දෙමළ කම්කරු ජනයා නැව් පිටින් මෙරටට ගෙන්වන ලදී. කම්කරුවන් පුරවාගත් මේ නැව් එක්කෝ කොළඹ වරායට සම්ප්‍රාප්ත විය. නොඑසේ නම් ත්‍රිකුණාමලය වරායට සම්ප්‍රාප්ත විය. එතැන් සිට මධ්‍යම කඳුකරය දක්වා ඔවුන් ගමන් කළේ දෙපයිනි. කැලෑ මැදිනි. මේ ගමනේදී මැලේරියාව, කහ උණ, පැපොල, ඩෙංගු වැනි රෝග වැළඳීමෙන් දෙමළ කම්කරුවෝ මගදී මිය ගියහ. ඔවුන්ගේ මළ මිනී පාර අයිනට වීසිකර ගමන නැවත අරඹන ලදී. මෙහිදී දෙමළ මිනිසුන් සමග පයින් ගිය සුදු ජාතික භාරකරුවෝද බාගෙට භාගයක් එම ලෙඩ වලින්ම මිය ගියහ. අවසානයේදී පළමුවන Shipment එකෙන් මෙරටට ගෙන්වන ලද දෙමළ කම්කරුවන් 500 න් තේ වතු වලට ගියේ 250 ක් පමණි. මේ ගණන වත්තේ වැඩට ප්‍රමාණවත් නොවන බව කල්පනා කළ ජේම්ස් ටේලර් ඊළඟ මුරයේදී දෙමළ කම්කරුවන් දහසකින් සමන්විත shipment එකක් මෙරටට ගොඩබැස්සවීය. පුරා මාසයක පමණ කාලයක් කැලෑව මැදින් වතුකරයට ගිය පාගමනේදී එකී කම්කරුවන් දහසෙන් බාගෙට බාගයක් හෙවත් 500 ක් මිය ගියහ. එහෙත් අවසාන පලයේදී තමන්ට අවශ්‍ය වූ කම්කරුවන් 500 වත්තට ගෙන්වා ගැනීමට හැකිවීමෙන් ජේම්ස් ටේලර් ජයග්‍රහණය කළේය.

මේ ක්‍රියාවලියෙන් ජේම්ස් ටේලර් ඇතුළු සුදු වතු පාලකයන් ජයග්‍රහණය කරද්දී දෙමළ වතු කම්කරුවෝ සදහටම පැරදින. ඒ මිනිසුන් පිළිබඳ ඉතා ශෝකජනක ලිපියක් “රටට ඩොලර් ගේන්න බඩගින්නට හුරුවූ මිනිස්සු” යනුවෙන් මෙවර ඉරිදා දිවයිනේ පළවී තිබේ. මේ පරාජිත මිනිසුන්ගේ හදවත් බිඳී ඇති නමුදු එය ඉතිහාසයේ සිටම සිදුවූ ක්‍රියාවලියක් නිසා තමන්ගේ හදවත් බිඳීගොස් ඇති බවවත් මේ මිනිස්සු නොදනිති. මීට අවුරුදු 200 ට පෙර ලංකාවේ දෙමළ වතු කම්කරුවාගේ ආහාරය වූයේ රොටීය. එය පළමුවත් රොටී, දෙවනුවත් රොටී, තෙවනුවත් රොටී යනුවෙන් විග්‍රහ කළ හැකිය. ඔවුහු උදේට පාන් පිටි රොටියක් කා කහට කෝප්පයක් බී වත්තට ගියහ. දවල්ට ද රොටියක් කා කහට කෝප්පයක් බී දිගටම වැඩ කළහ. රෑටද රොටියක් කා කහට කෝප්පයක් බී නින්දට ගියහ. ස්වල්ප කලකට පසු එකල සිටි වතු කම්කරුවෝ මත්පැන් පෙරා ගැනීමට පුරුදු වූහ. මෙසේ පෙරන ලද ප්‍රමුඛ මත්පැන් වර්ග වූයේ සීනි කරිඤ්ඤං සහ අල හොදිය. මේ දෙකම බොකු බඩවැල් කඩාගෙන යන මත්පැන් වර්ග වෙති. සීනි කරිඤ්ඤං පසුකාලයේදී කසිප්පු බවට පරිණාමය විය. අල හොදි අදටත් අල හොදිය. එය සාදන්නේ වයින් ස්ප්‍රීතු වලිනි. පොල් කට්ටකට වයින් ස්ප්‍රීතු පුරවා ගිනි තබනු ලැබේ. වයින් ස්ප්‍රීතු පිළිස්සී හරියටම පොල් කට්ටෙන් අඩක් පෙන්නුම් කරන විට එයට දෙහි ගෙඩියක් මිරිකා දමනු ලැබේ. එසැණින් ගින්න නිවී යයි. මේ ද්‍රාවණයේ පාට අල හොද්දක පාටය. මේ ටික පානය කළ සැණින් වතු කම්කරුවා එක්කෝ සූර් වෙයි නැත්නම් මිය යයි. වතු කම්කරුවාගේ මිය යෑම වළක්වා ගැනීම සඳහා සුද්දෝ තේ වත්තටම අරක්කු supply කරන්නට පටන්ගත්තේ මෙතැන් සිටය. අරක්කු බිල වතු කම්කරු පඩියෙන් කපාගන්නා ලදී. මීට අවුරුදු 200 ට පෙර හදවත් බිඳුණු වතු කම්කරු ජනතාවගේ ජීවිතය අද වන විට වෙනස් වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. වතු කම්කරුවන්ගේ ගැලවීම පිණිස පහළවූ සෞම්‍යමූර්ති තොන්ඩමන් හෙවත් මහ තොන්ඩමන් වතු කම්කරු ඡන්ද පදනමක් ඇතිකර පාර්ලිමේන්තු ගොස් වතු කම්කරුවන්ටද යම් සේවයක් කර සැප ජීවිතයක් ගතකොට මළේය. එතැන් සිට පහළවූ එක තොන්ඩමන් කෙනෙක්වත් වතුකරයට කිසිදු සේවයක් කර නැත. එමතුද නොව කිසිදු දෙමළ දේශපාලනඥයෙක් කිසිදු සේවයක් කර නැත. වතුකරයේ ලයින් කාමර තවමත් එහෙමමය. ලෙඩ රෝග හටගැනීම සහ පැතිරීම තවමත් එහෙමමය. රොටී ආහාර සංස්කෘතිය තවමත් එහෙමය ය. කසිප්පු බවට පත්වූ සීනි කරිඤ්ඤං සංස්කෘතියද තවමත් එහෙමමය. ඉරිදා දිවයිනේ පළවූ ලිපියෙන් මේ සියලු කරුණු සාකච්ඡා කරනු ලැබේ. තව අවුරුදු 5 න් පමණ මේ වර්ගයේ ඊළඟ ලිපිය පළවුවද වතුකරයේ අපාගත තත්ත්වය වෙනස් නොවන බව අපගේ විශ්වාසය ය.

advertistmentadvertistment
advertistmentadvertistment