ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්…

62

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව පෙරේදා (24දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා මිත්‍රශීලි ලෙස පිළිගනු ලැබීය. ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිත ත්‍රිවිධ හමුදා වර්ණ ධජ ගණයන්ගෙන් සමන්විත සම්මාන මුරයක් ද පිළිගන්වනු ලැබිණි.

නායකයන් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. මෙම සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තැබීම ද දෙරටේ නායකයන් ඉදිරියේ සිදු විය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය හා ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් මහතා අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය අතර සිනමා කර්මාන්තයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූණු අතර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් මහතා ඊට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්…

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් ඉරානයේ බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මෙරහබීන් මහතා ඊට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහයෝගිතා, ජනමාධ්‍ය, තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් මහතා අත්සන් තැබීය

ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති ජී.වී. සරත් වීරසිරි මහතා සහ ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් මහතා ඊට අත්සන් තැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment